අකුරැස්සේ සාරුව සුනිල්ට එරෙහි නඩුව නොවැම්බරයේ
Sep 13, 2017 09.34am

තමා යටතේ සේවය කළ අඹුසැමි යුවළකගේ 14 හැවිරිදි බාලවයස්කාර පාසල් සිසුවිය රවටාගෙන ගොස් බලහත්කාරයෙන් දූෂණය කළ බවට අධිචෝදනා ලැබ සිටින අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් නමැත්තාට එරෙහිව නඩුව ලබන නොවැම්බර් මස 27 හා 28 දිනයන්හි විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා ඊ‍යේ (12) තීරණය කළේය.

අධිකරණ සිතාසි මත ඊ‍යේ (12) අධිකරණය හමුවේ පෙනී සිටි පළමු සාක්කිකාරිය වූ සිද්ධියට මුහුණ දුන් දැරිය ඇගේ මව ඇතුළු සාක්කිකරුවනට නඩු විභාග දිනයන්හි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට විනිසුරුවරයා අවවාද කළේය.

තවද මෙම දැරිය හට සාක්කි දීමට අධිකරණයේ පෙනී සිටින මෙන් දන්වා සිතාසි නිකුත් කර තිබියදී පොලිසිය ඇය දැනට සේවය කරන ස්ථානයට ගොස් ප්‍රකාශයක් ලබාගැනීම සම්බන්ධව සිදුකළ විමර්ශනයේ ප්‍රගතිය කුමක්දැයි දැරිය හා ඇගේ මවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ වසන්ත පිටිගල මහතා නඩුව වෙනුවෙන් පෙනී සිටින රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරියගෙන් ඊයේ (12) විමසා සිටියේය.

ඉදිරි නඩු දිනයේදී එම විමර්ශනයේ ප්‍රගතිය අධිකරණය වෙත දැනුම් දෙන බව රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරිය දන්වා සිටියාය.

2012-05-23 හා 2012-07-02 අතර කාලයේදී වයස අවුරුදු 16 කට අඩු බාලවයස්කාර දැරියක් දූෂණය කිරීම මත අධි චෝදනාව යටතේ නීතිපතිවරයා විත්තිකරුට එරෙහිව මෙම නඩුව පවරා ඇත.



(දිනමිණ පුවත්පත ඇසුරෙනි)

Ads here
340 x 60