චරිත ඝාතනය ගැන සුව ඇමැති CID පරීක්ෂණයක් ඉල්ලයි

Feb 20, 2017 08.59am
feature-top
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංසදය ලෙස හඳුන්වා දෙන ව්‍යාජ සංගමයක් විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ අනුබද්ධ ආයතනයක් වන රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය එච්. එම්. එම්. රූමි මහතාගේ චරිතය ඝාතනය කිරීමට නිකුත් කළ ප්‍රවෘත්ති නිවේදන සහ පුවත්පත් වාර්තා පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදෙන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා විවිධ සංගම් මඟින් නිකුත් කරන ව්‍යාජ මාධ්‍ය නිවේදන රජයේ මාධ්‍ය ආයතන ද පළ කරනවා. මෙවැනි නිවේදනයක් ලැබුණු පසු සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විමසා බැලිය යුතුයි. මෙම ව්‍යාජ නිවේදන පිටුපස සිටින්නේ ඖෂධ සමාගමක්. මහරගම අපේක්ෂා රෝහලේ ඖෂධ සොරකම් කර අසරණ රෝගීන් මරා දැමූ ඖෂධ සමාගමක්. එම සමාගම පිළිකා ඖෂධ තමයි ආනයනය කළේ. පොලිසිය විසින් එම සමාගමේ හිමිකරු අත්අඩංගුවට ගෙන අධිකරණ නියෝග මත මාස 06ක කාලයක් රිමාන්ඩ් භාරයට පත්කළා.

පසුව එම පුද්ගලයා තවත් පිළිකා ඖෂධයක් ලියාපදිංචි කර ගැනීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියට අයදුම්පතක් ඉදිරිපත්කොට බලපත්‍රයක් ලබාගත්තා. මට විවිධ පැමිණිලි ලැබුණා විෂමාචාර චෝදනා ලැබූ සමාගම වෙනත් නමකින් පිළිකා ඖෂධ ගෙන්වීමට සූදානම් වෙනවා කියලා. පිළිකා ඖෂධ රුපියල් මිලියන 170 කට වඩා වැඩි මුදලක් යොදවා ගෙන්වන්න හැදුවා. මම එය නතර කිරීමෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලාභයක් ලැබුණා. එවැනි වංචාවක් සිදුවන බව මට දැනුම් දුන්නේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවයි.

එහි කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය එච්. එම්. එම්. රූමි මහතා මුස්ලිම් ජාතිකයෙක් වුණාට ව්‍යාපාරිකයෙක් නොවෙයි. තොරතුරු තාක්ෂණය පිළිබඳ ආචාර්ය උපාධියක් ලැබූ පුද්ගලයෙක්. ඔහුගේ සහෝදර සහෝදරියන් ද වැදගත් රැකියාවල නිරත වෙනවා. මෙම විෂමාචාර පිළිකා ඖෂධ ආනයන සමාගම පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන්ද මම තොරතුරු ලබාගත්තා.

එම සමාගම ඖෂධ සොරකම් නොකළ බව ප්‍රකාශ කළත්, ‍පොලිස් නිලධාරින් එම සමාගම ඖෂධ ගෙන්වන ඉන්දීය සමාගම ගැන සොයා බැලුවා. ලබාදුන් ලිපිනයට අනුව එම ස්ථානයේ තිබෙන්නේ මල් අලෙවි සැලක්. මෙවැනි හොරුන්ගේ ලිපි මාධ්‍යවල පළවෙනවා. විලිලැජ්ජයි. එම සමාගම මුදල් දී තමයි මෙවැනි ලිපි පළ කරන්නේ. මුදල් ලබාගත් අයගේ තොරතුරු ද මම සොයාගෙන තිබෙනවා.”

“රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංසදය කියා ලිපිනයක් යොදා ව්‍යාජ සංගමයක් තිබෙනවා. එම ලිපිනය තිබෙන තැනට ගොස් සොයා බැලුවා. මුරකාරයා විතරයි ඉන්නේ. නිවසක් තිබෙන්නේ එහි හිමිකරුවන් ඉන්නේ එංගලන්තයේ. මෙහෙම බොරුකාරයෝ තමයි ඉන්නේ.

ඖෂධ කොල්ලකරුවෝ තමයි ඉන්නේ. මෙම සංසදයේ ලේකම්වරයා ලෙස අත්සන් කරන පුද්ගලයා පිළිබඳ සොයා බලනවා. මිනිසුන්ගේ චරිත ඝාතනය කරන්න එපා. වංචා නැති කරන්න. අපේ රටේ වෛද්‍යවරුන්ගෙන් සියයට 75 ක් පමණ හොඳයි. ජරා වැඩ කරන පිරිසකුත් ඉන්නවා. මම සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස වංචා දූෂණ ගැන නිරතුරුව සොයා බලනවා යැයි ද සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.

දිනමිණ පුවත්පත ඇසුරෙනි

More News »