අගමැතිගේ ප්‍රකාශයට එරෙහි පෙත්සම ඉවත දමයි

Feb 18, 2017 09.35am
feature-top
ශ්‍රේෂ්ඨාධිකරණය 2006 වසරේදී ප්‍රකාශිත ‘සිංහරාසා’ නඩු තීන්දුව සම්බන්ධයෙන් ඉදිරි කටයුතු නොකරන ලෙස කතානායකවරයාට නියෝග කරන ලෙස ඉල්ලා ගොනු කැර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (17) තීරණය කෙළේය. පාර්ලිමේන්තුවේදී සිදු කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් නියෝග ලබාදීමට අධිකරණයට බලයක් නැති බවට සහ එවැනි නියෝග ලබාදිම පාර්ලිමේන්තු වරප්‍රසාද පනතට පටහැනි බවටද නීතිපතිවරයා සහ වගඋත්තරකාර අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඉදිරිපත් කළ මූලික විරෝධතා සලකා බැලු ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම ඉවත දැමීය.

 එසේම අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය මගින් විධායක හෝ පරිපාලන ක්‍රියාවක් ලෙස සැලකිය නොහැකි බවට ඉදිරිපත්වූ මූලික විරෝධතාවද මෙම පෙත්සම ඉවත දැමීමට හේතු වී තිබේ.

ප්‍රියසාත් ඩෙප්, උපාලි අබේරත්න, අනිල් ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියෙහි මෙම පෙත්සම කැඳවන ලදී.

නීතිඥවරයකු වන නාගානන්ද කොඩිතුවක්කු මහතා මෙම පෙත්සම ගොනුකර තිබුණි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් නීතිපතිවරයා , අගමැති රනිල් වික්‍රමසිංහ මහතා, කතානායක කරු ජයසූරිය මහතා සහ නීතිපතිවරයා මෙහි වගඋත්තරකරුවෝ වූහ.

සිංහරාසා නඩු තීන්දුව 2006 දෙසැම්බර් මස 15 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළ බව පෙත්සමෙහි දැක්විය.

එම නඩු තීන්දුවෙහි සඳහන් ඇතැම් කරුණු අවලංගු කළ යුතු බවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත් 2016 වසරේ ජුලි මස 07 වැනිදා පාර්ලිමේන්තුවේදී සඳහන් කළ බවද, ඒ සම්බන්ධයෙන් කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළ බවද සඳහන් විය.

එවැනි ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග අවලංගු කිරීමට කටයුතු කළහොත් එය ව්‍යවස්ථාවට පටහැනිවනු ඇති බවට පෙත්සම මගින් පෙන්වා දී තිබිණි.

ජනතාවගේ පරමාධිපත්‍යය බලය පාර්ලිමේන්තුව සතුවන අතර ජනතාවගේ අධිකරණ බලය අධිකරණය සතුවන බවද, එම බලය ක්‍රියාත්මක කරමින් දෙන ලද නඩු තීන්දු අවලංගු කිරීම අධිකරණයේ ස්වාධිපත්‍යයට හානියක් බවද, එමගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවටද පෙත්සම මගින් පෙන්වා දී තිබිණි.

එබැවින් ශ්‍රේෂ්ඨාධිකරණය දෙන ලද නඩු තීන්දු අවලංගු කිරීමට හෝ ඉල්ලා සිටීමට අගමැතිවරයාට නීතිමය බලයක් හෝ අධිකාරි බලයක් නැතැයි ප්‍රකාශ කරන ලෙස පෙත්සමෙන් ඉල්ලා තිබිණි.

නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා පෙත්සම වෙනුවෙන් කරුණු දැක්වීය.

ජනාධිපති නීතිඥ කේ. කනග්ඊශ්වන් මහතා වගඋත්තරකාර අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි අතර නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය.



දිනමිණ පුවත්පත ඇසුරෙනි

More News »