එ.ජා. මානව හිමිකම් සැසියේ දී ශ්‍රී ලංකාවට කිසිම බලපෑමක් නෑ

Feb 14, 2017 08.53am
feature-top
එළඹෙන 27 දා ආරම්භ වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 34 වන සැසිවාරය ශ්‍රී ලංකාවට කිසිඳු බලපෑමක් නොමැති බව විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කරයි.

එම කවුන්සලයේ ඇතැම් සැසිවාරවල දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කිරීම, මානව හිමිකම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම ආදිය සිදු වුවද මෙවර සැසිවාරයේ දී එවැනි කිසිවක් සිදුනොවන බව පෙන්වාදෙන ඒ මහතා ශ්‍රී ලංකාව සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ සම අනුග්‍රාහකත්වයෙන් පසුගිය 2015 වසරේ දී සම්මත කරගත් යෝජනාවේ ඇතුළත් නිර්දේශ ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් රජය ගෙන තිබෙන ක්‍රියාමාර්ග සහ එහි ප්‍රගතිය පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිත බවද සඳහන් කරයි.

එම වාර්තාව මාර්තු මස 22 දා ස්විට්සර්ලන්තයේ ජිනීවා හි ජගත් මානව හිමිකම් කවුන්සලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන අතර ඊට අමතරව ශ්‍රී ලංකාව වෙනුවෙන් විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර මහතා සමුළුව ඇමතීමට නියමිත බවද හෙතෙම පෙන්වා දෙයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 34 වැනි සැසිවාරය මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් ෂෙයිද් රාද් අල් හුසේන් කුමරුගේ ප්‍රධානත්වයෙන් එළඹෙන 27 දා සිට මාර්තු මස 24 දා දක්වා පැවැත්වීමට නියමිත අතර එහිදී එක් එක් රටවල මානව හිමිකම් තත්ත්වය මෙන්ම එය ප්‍රවර්ධනය වෙනුවෙන් ගෙන තිබෙන ක්‍රියාමාර්ග, යුද ගැටුම්, ආරථික වර්ධනය ආදී වැදගත් කරුණු රැසක් සම්බනධයෙන් අවධානය යොමු කරන බවද විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා විසින් ශ්‍රී ලංකාව සම්බන්ධව සකස්කළ වාර්තාව සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු කෙරෙන අතර ශ්‍රී ලංකාව තුළ සංහිඳියාවේ ක්‍රියාවලිය පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකා රජය දරන උත්සාහය පිළිබඳ තෘප්තිමත් වන බවට මහ කොමසාරිස්වරයාගේ වාර්තාවේ සඳහන් කර තිබේ. කෙසේ වුවද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය මඟින් සම්මත කළ යෝජනාවලිය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමේ දී සියලු ශ්‍රී ලාංකිකයින්ගේ සහාය හිමිවිය යුතු බවද හෙතෙම පෙන්වා දී තිබේ.

යුද ගැටුම් පැවැති සමයේ ශ්‍රී ලංකාවේ සිදුවී යැයි පවසන යුද අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් වූ ජගත් මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිඩ් අල් හුසේන්ගේ වාර්තාව පසුගිය 2015 වසරේ මාර්තු මස 2දා ස්විට්සර්ලන්තයේ ජිනීවා හි දී ආරම්භ වූ ජගත් මානව හිමිකම් කවුන්සලයේ 28 වැනි සැසිවාරයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණ ද එය ශ්‍රී ලංකා රජයේ ඉල්ලීමකට අනුව මාස හයක කාලයක් සඳහා කල් ලබාදෙන ලදී. ඒ අනුව මහ කොමසාරිස්වරයා විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වූ විමර්ශන වාර්තාව පසුගිය 2015 වසරේ සැප්තැම්බර් මස 16දා ජගත් මානව හිමිකම් කවුන්සලය හමුවේ ප්‍රකාශයට පත්කරන ලදී.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත කරගත් යෝජනාව පිළිබඳ සියලු පාර්ශවයන්ගේ අදහස් විමසීම සඳහා 11 දෙනෙකුගෙන් යුතු උපදේශන කාර්ය සාධක බළකායක් පිහිටුවීමට රජය තීරණය කළ අතර එක්සත් ජාතීන්ගේ විශේෂඥයන්ගේ සහාය ඇතිව මේ සඳහා වන දේශීය යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන තිබේ. සියලු භාෂාවන් පදනම් කරගනිමින් මුහුණට මුහුණලා ඒ සම්බන්ධයෙන් උපදෙස් ලබාගන්නා අතර එම උපදේශන ක්‍රියාවලිය සඳහා වන මූලික රාමුව දැනටමත් සකස්කර ඇත.



දිනමිණ පුවත්පත ඇසුරෙනි

More News »