අගමැති ඔස්ට්‍රේලියාවට ළඟාවෙයි

Feb 14, 2017 08.49am
feature-top
 ඔස්ට්‍රේලියානු රජයේ ආරාධනයකට අනුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තම සිව් දින නිල සංචාරය ආරම්භ කරමින් ඊයේ (13) දින මෙල්බර්න් ගුවන් තොටුපොළින් ඔස්ට්‍රේලියාවට ළඟා විය.

අගමැතිවරයා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස මෙල්බර්න් ගුවන් තොටුපොලේ දී පිළිගනු ලැබූයේ වික්ටෝරියා ප්‍රන්තයේ අගමැති ඩැනියෙල් ඇන්ඩෲස් සහ ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් බ්‍රයිස් හට්චසන් යන මහත්වරුන් විසිනි.

එම අවස්ථාවට ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සෝමසුන්දරම් ස්කන්ධකුමාර් මහතා ඇතුළු මහ කොමසාරිස් කාර්යාල නිලධාරීහු පිරිසක් ද සහභාගි වී සිටියහ.

අගමැතිවරයාගේ නිල සංචාරය හෙට (14) දින ආරම්භ වනු ඇත.

මහාචාර්ය මෛත්‍රී වක්‍රමසිංහ, වාරිමාර්ග සහ ජල සම්පත් කළමනාකරණ ඇමැති විජිත් විජයමුණි සොයිසා, වරාය සහ නාවික ඇමැති අර්ජුන රණතුංග, විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති, ආචාර්ය හර්ෂ ද සිල්වා, අගමැති ලේකම් සමන් ඒකනායක, අගමැති අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි සහ විශේෂ සහායිකා සැන්ඩ්රා‍ පෙරේරා යන මහත්ම මහත්මීහු ද මෙම සංචාරයට එක්ව සිටිති.



දිනමිණ පුවත්පත ඇසුරෙනි

More News »