පරිභෝජනයට නුසුදුසු ෆාම්තෙල් රඳවාගැනීමේ රේගු තීරණය නිවැරැදියි

Feb 09, 2017 08.59am
feature-top
හෘද රෝග සහ පිළිකා ඇතිකරවිය හැකි මිනිස් පරිභෝජනයට නුසුදුසු ෆාම් තෙල් අඩංගු බහාලුම් 24ක් නිදහස් නොකර රඳවා තබා ගැනීමට ශ්‍රී ලංකා රේගුව ගත්ත තීරණය නිවැරැදි බවට තීරණය කළ අභියාචනාධිකරණය එම බහාලුම් නිදහස් කරන ලෙස ඉල්ලා එම ආනයනකරු ගොනුකර තිබූ රිට් පෙත්සමක් ගාස්තුවට යටත්කොට නිෂ්ප්‍රභ කෙළේය.

එම බහාලුම්වල 'කෘඕ ෆාම් ෆැට් ඇසිඩ්' ඇති බවට ආනයනකරු ප්‍රකාශ කර තිබුණද ඒවා ආනයනික ෆාම්තෙල් අඩංගු බවට ද ඒවා මිනිස් පරිභෝජනයට නුසුදුසු වන පරිදි අපමිශ්‍රණය කර ඇති බවට සාක්ෂි ඇති බැවින් එම බහාලුම් සම්බන්ධ රේගු විමර්ශන අත්හිටුවීමට අධිකරණය නියෝග නිකුත් කරන බවට සඳහන් කරමින් පෙත්සම ඉවත දමන ලදී.

සේන මිල්ස් රිෆයිනරීස් පුද්ගලික සමාගම විසින් ගොනුකළ මෙම පෙත්සමෙහි තීන්දුව ප්‍රකාශ කරමින් අභියාචනාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විසින් පෙත්සම නිෂ්ප්‍රභ කරන ලදී.

රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ එහි ප්‍රධාන සහකාර නිවාරණ නිලධාරී (මෙහෙයුම්) සහ නීතිපතිවරයා මෙහි වගඋත්තරකරුවෝ වූහ.

මැලේසියාවෙන් මෙරටට ආනයනය කළ ෆාම්තෙල් අඩංගු බවට සැක කළ බහාලුම් 24ක් නිදහස් නොකර රඳවා තබා ගැනීමට ශ්‍රී ලංකා රේගුවේ නිවාරණ අංශයේ මෙහෙයුම් ශාඛාව විසින් ඉකුත් 2016 වසරේ මාර්තු මස තීරණය කර ඇත.

එම කන්ටේනර්වල 'කෘඕ ෆාම් ෆැට් ඇසිඩ්' අඩංගු බවට ආනයනකරු විසින් ප්‍රකාශ කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් ඇතිවූ සැකය නිසා එම බහාලුම් නිදහස් නොකිරීමට කටයුතු කර තිබේ.

එලෙස බහාලුම් රඳවා තබා ගැනීම නිසා තමන්ට අසාධාරණයක් වන බවට ප්‍රකාශ කරමින් මෙම පෙත්සම ගොනුකර තිබුණි.

මෙම බහාලුම්වල අඩංගු තෙල් දේශීය හා විදේශීය රසායනාගාරවලට යවා පරීක්ෂා කළ අතර ඒවා මිනිස් පරිභෝජනයට නුසුදුසු බවද එමඟින් හෘද රෝග සහ පිළිකා ඇතිවිය හැකි බවට එම පරීක්ෂණවලදී අනාවරණය කර ගත් බව පෙත්සම කැඳවූ අවස්ථාවේදි වගඋත්තරකරුවන් විසින් අධිකරණයට කරුණු ඉදිරිපත් කරන ලදී.

එම බහාලුම්වල මිශ්‍ර කරන ලද තෙල් වර්ගයක් බවට රේගුවට ප්‍රකාශ කිරීමට ආනයනකරු අපොහොසත් වී ඇති අතර කෘඕ ෆාම් පැට් ඇසිඩ් එහි අඩංගු බවට ප්‍රකාශ කර ඇති බවද එහිදී සඳහන් කරන ලදී.

මෙම ආනයනකරු 2012 සිට මේ වසර දක්වා මෙවැනි මිනිස් පරිභෝජනයට නුසුදුසු ෆාම්තෙල් මෙට්‍රික් ටොන් 17000ක් ආනයනය කර ඇති බවට ද සඳහන් වූ අතර එමඟින් ආනයනකරු ‍රේගු ආඥා පනතේ 12, 43, 47 උල්ලංඝනය කර ඇති බවට ද සඳහන් විය.

කරුණු සලකා බැලූ අධිකරණය එම ආනයනික ෆාම් තෙල් අපමිශ්‍රණය කර ඇති බවට විශ්වාස කළ හැකි සාක්ෂි ඇති බැවින් ඒ සම්බන්ධව සිදු කෙරෙන රේගු විමර්ශන හා පරීක්ෂණ නැවැත්වීමට අධිකරණය කටයුතු නොකරන බව අදාළ තීන්දුවෙහි සඳහන් වේ.

ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි අතර නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනි සිටියේය.



දිනමිණ පුවත්පත ඇසුරෙනි

More News »