හොර රියැදුරු බලපත් දහස් ගණනක් රට පුරා

Feb 07, 2017 09.09am
feature-top
ව‍ාජ ලෙස සකස් කර භාවිත කරන රියැදුරු බලපත් දහස් ගණනක් රටපුරා රියදුරන් විසින් භාවිත කරන බවට පොලිසිය මඟින් තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

මේ නිසා රථ වාහන පොලිසිය විශේෂයෙන් රියදුරු බලපත් නිරතුරුවම පරීක්ෂාවට ලක් කිරීමටත් ඒවා මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව මඟින් නීත්‍යානුකූලව නිකුත් කළ ඒවා ද නැතහොත් ව්‍යාජ ලෙස සකස් කළ ඒවා ද යන්න සොයා බැලීම සඳහා සූක්ෂ්ම ක්‍රියාමාර්ගයක් ද අනුගමනය කරති.

රථවාහන පොලිසියට මේ වන විට ඒ සම්බන්ධව පුහුණුවක්ද ලබා දී තිබේ.

ව්‍යාජ ලෙස රියදුරු බලපත් සකසා රුපියල් දහස් ගණන්වලට අළෙවි කරන ජාවාරම්කරුවෝ බොහෝ ස්ථානවල ගැවසෙති. පොලිසිය පසුගිය කාලයේදී එවැනි ස්ථාන රැසක්ම කොටුකරගෙන තිබුණි. පෙ‍රේදා පොලිසිය මිනුවන්ගොඩ ප්‍රදේශයේදීද එවැනි ස්ථානයක් වටලා ව්‍යාජ ලෙස සකස් කළ රියදුරු බලපත් විශාල ප්‍රමාණයක්ද සොයාගෙන තිබුණි.

ඒ හැර මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව අසල ගැවසෙන තැරැව්කරුවන්ද ඇතැම් දෙපාර්තමේන්තු සේවකයන්ගේ සහාය ඇතිව පසුගිය කාලයේ ව්‍යාජ රියැදුරු බලපත් සැකසීමේ ජාවාරමක් සම්බන්ධව මේ වන විටත් පරීක්ෂණ සිදු කෙරේ.

ව්‍යාජ ලෙස සකසන මෙවැනි රියදුරු බලපත් නීත්‍යානුකූල ඒවා බවට රියදුරන් රවටා රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමට පෙනී සිටිය යුතු ලිඛිත හා ප්‍රායෝගික පරීක්ෂණවලට පෙනී නොසිට ලබාගන්නා මෙම රියදුරු බලපත් නීත්‍යානුකූල ඒවා නොවේ. ඒවා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ ඒවා බවට දෙපාර්තමේන්තුවේ පරිගණක ගත වී නොමැති බව ද කියන පොලිසිය මෙවැනි ජාවාරම්කරුවන්ට හසු වී යම් රියදුරෙක් රියදුරු බලපත්‍රයක් ලබාගෙන තිබේ නම් එහි නීත්‍යානුකූලභාවය එම දෙපාර්තමේන්තුවේ වේරහැර ශාඛාවෙන් පරීක්ෂා කර ගත හැකි බව ද පැවසේ.

මෙවැනි ව්‍යාජ රියදුරු බලපත්‍රයක් භාවිත කර හසුවන රියදුරන්ට එරෙහිව අධිකරණය මඟින් බරපතළ දඬුවම් නියම කරනු ලබන අතර පොලිසිය එම බලපත්‍රය ලබාදුන් ජාවාරම්කරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීම ද සිදු වෙයි.

දිනමිණ පුවත්පත ඇසුරෙනි

More News »