රගර් පුහුණුව බෑ කී සිසුවාට එල්ලා පහර දීලා

Jan 25, 2017 08.59am
feature-top
දෙමටගොඩ ප්‍රදේශයේ පාසලක සිසුවකුට රගර් ක්‍රීඩා පුහුණුවේ යෙදෙන්නැයි බල කරමින් එම සිසුවා යකඩ බටයක එල්ලා කෲර ලෙස පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම විදුහලේ ක්‍රීඩා උපදේශක ගුරුවරයා සිසුන් ඇතුළු පස්දෙනකු දෙමටගොඩ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

14 වැනි වියේ පසු වූ එම පාසල් සිසුවා පාසල් වේලාවෙන් පසු ක්‍රීඩා පුහුණු වෙමින් සිටිය දී ඉහත කී ක්‍රීඩා උපදේශකවරයා පැමිණ ඔහුට රගර් ක්‍රීඩා පුහුණුවේ යෙදෙන ලෙස දැනුම් දී ඇත. ඔහු එම පුහුණුව ප්‍රතික්ෂේප කර තිබේ. ඒ අතර ක්‍රීඩා උපදේශකවරයා බලහත්කාරයෙන්ම එම සිසුවා ඉහළ ශ්‍රේණිවල තවත් සිසුන් සිවුදෙනකුට භාර දී ඔහුට රගර් පුහුණුව ලබාදෙන ලෙස පවසා තිබේ.

මොවුන් සිවුදෙනා එම සිසුවාට බලහත්කාරයෙන් පුහුණුව ලබාදෙන විට ඔහු එම පුහුණුව නොකළ නිසා ඔහු රැගෙන ගොස් පන්ති කාමරයක යකඩ බටයක එල්ලා කෲර ලෙස පහර දී තිබේ.

මේ පහරකෑමෙන් තුවාලලත් එම සිසුවා දැනට කොළඹ මහ රෝහලේ 72 හදිසි අනතුරු වාට්ටුවේ ප්‍රතිකාර ලබයි.

සිද්ධිය සම්බන්ධව පරීක්ෂණ ආරම්භ කළ දෙමටගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුරාධ මහින්දසිරි මහතා පාසල් සිසුවාට වධ හිංසා පැමිණ වූ ක්‍රීඩා උපදේශකවරයා ඇතුළු සිසුන් සිවු දෙනා අත්අඩංගුවට ගෙන ඊයේ කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. සිද්ධිය සම්බන්ධව දෙමටගොඩ පොලිසිය තවදුරටත් පරීක්ෂණ සිදු කරයි.

පහරදුන් පස්දෙනාට ඇප

දෙමටගොඩ වේළුවන විද්‍යාලයේ දහය වසරේ ඉගෙනුම ලබන සිසුවකුට පහරදී බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දෙමටගොඩ පොලිසිය විසින් අත්අඩංගුව‍ට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ එම පාසලේ රගර් ක්‍රීඩා පුහුණුකරු හා සිසුන් හතරදෙනා ඇප මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේය.

රුපියල් 15,000 ක මුදල් හා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත කිරුළපන පදිංචි රගර් ක්‍රීඩා පුහුණුකරු විකුම් ධර්මසිරි වික්‍රමආරච්චි ඇතුළු සිසුන් හතරදෙනා මෙසේ මුදාහැරිණ.

පහරදීමට ලක්වූ සිසුවා කොළඹ ජාතික රෝහලේ 72 වැනි වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවට දෙමටගොඩ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක හේරත් හා පොලිස් සැරයන් (28789) ජයසේකර යන මහත්වරු අධිකරණය වෙත දන්වා සිටියහ.

බැඩ්මින්ටන් ක්‍රීඩාවේ යෙදී සිටි සිසුවාට ‍රගර් ක්‍රීඩාවේ යෙදෙන ලෙසට බලපෑම් කරමින් කාමරයකට ගෙන ගොස් බලහත්කාරයෙන් බාල්කයේ එල්ලා නැවත බහා පොලුවලින් සැකකරුවන් පස්දෙනා විසින් පහරදී බරපතළ තුවාල සිදුකළ බවට පැමිණිල්ලේ සඳහන්ය.

සිළුමිණ පුවත්පත ඇසුරෙනි

More News »