මහ ඇමැති මහින්ද සාකච්ඡා: යළි හමුවකට එකඟතා

Jan 23, 2017 09.30am
feature-top
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බලවත් සංවිධානයක් බවට පත්කිරීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ පළාත් ප්‍රධාන අමාත්‍යවරුන් ඊයේ සිදු කළ සාකචඡාව තීරණයකින් තොරව අවසන් විය.

එසේ වුවද ප්‍රධාන අමාත්‍යවරුන් කියා සිටියේ ඉදිරියේ සාකච්ඡා මාලාවකට මුලපුරවමින් ඊයේ සාකච්ඡාව වාද විවාද සහිතව අවසන් කෙරුණු බවය.

මෙම සාකච්ඡාව පිළිබඳව කරන ලද විමසුමකට පිළිතුරු දුන් දකුණු ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල්ද සිල්වා මහතා කියා සිටියේ ඉදිරියේදී තවත් සාකච්ඡා මාලාවකට මුල පුරමින් තමයි අද සාකච්ඡා අවසන් ‍කළේ. ඉතා සුහද ශීලිව පැවැත්වුණා. කොයිම අවස්ථාවකවත් අපට ඒ මහතා සමග සාකච්ඡා කරන්න කිසිදු බාධාවක් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් තමයි අපි කවුරුත් පෙනී සිටින්නේ යැයිද කීය.

බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා අදහස් දක්වමින් අපිට මැතිවරණය නෙමෙයි වැදගත් වෙන්නේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයයි. අපි සාකච්ඡා කළේ පක්ෂය වෙනුවෙනුයි. ඒ හැර මැතිවරණය වෙනුවෙන් නෙමෙයි. ප්‍රධාන අමාත්‍යවරුන් හත්දෙනා දැඩි අපේක්ෂා සහිතව එම සාකච්ඡාවට සහභාගි වී ඇති අතර මහින්ද රාජපක්ෂ මහතා සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බාහිරින් පැමිණි පිරිසක් නිසා මෙම සාකච්ඡාවලට බාධා ඇතිවූ බවද මහඇමැතිවරු කියා සිටියහ.

එම අවස්ථාව සඳහා ජී. එල්. පීරිස්, බන්දුල ගුණවර්ධන, මහින්ද යාපා අබේවර්ධන, ප්‍රසන්න රණතුංග, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ගාමිණී ලොකුගේ යන මහත්වරු සහ මහ ඇමැතිවරුන් වන සරත් ඒකනායක, ඉසුර දේවප්‍රිය, මහීපාල හේරත්, ශාන් විජේලාල් ද සිල්වා, චාමර සම්පත් දසනායක, ධර්මසිරි දසනායක යන මහත්වරු සහභාගි වූහ.

දිනමිණ පුවත්පත ඇසුරෙනි

More News »