මේ ජනාධිපතිගෙන් රටට වැඩක්‌ ගන්න විදිහයි මම කල්පනා කරන්නේ අතුරලියේ රතන හිමියෝ කියති

Jan 22, 2017 09.26am
feature-top
ජාතික හෙළ උරුමයේ සභාපති ධුරය හෙබවූ පූජ්‍ය අතුරලියේ රතන හිමියෝa පසුගිය ජනාධිපතිවරණයේදී පිවිතුරු හෙටක්‌ උදෙසා ජාතික සභාව පිහිටුවා ගනිමින් ජනපති සටනට පණ පෙවූහ.

මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිධුරයට පත්වීමෙන් පසු ජනාධිපති උපදේශක තනතුරක්‌ ලැබූ උන්වහන්සේ මහමැතිවරණයෙන් පසු එක්‌සත් ජාතික පක්‍ෂ ජාතික ලැයිස්‌තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත් ව වස විස නැති ගොවිතැනක්‌ උදෙසා සක්‍රීය දායකත්වයක්‌ දැක්‌වූහ.

දෙවසරක ඇවෑමෙන් පූජ්‍ය රතන හිමියෝ ආණ්‌ඩුවේ ඇතැම් කටයුතු විවේචනය කරමින් පාර්ලිමේන්තුව තුළ ස්‌වාධීන මන්ත්‍රීවරයකු වන බව පවසා රජය යහමගට ගැනීමට මහජන ව්‍යාපාරයක්‌ ගොඩනඟන බව කීහ. එම ව්‍යාපාරය එහි කටයුතු සහ පවතින දේශපාලන තත්ත්වය පිළිබඳ උන්වහන්සේ 'දිවයින ඉරිදා සංග්‍රහය' සමඟ කළ සාකච්ඡාවකි මේ.

ප්‍රශ්නය - අවසරයි අපේ හාමුදුරුවනේ. ඔබ වහන්සේ ගොඩනඟන සංවිධානය කුමක්‌ද?

පිළිතුර - මෙය පුළුල් ජාතික හා මහජන ව්‍යාපාරයක්‌. මෙය ආණ්‌ඩුව හරි මගට ගැනීම සඳහා දේශපාලන පක්‍ෂවල හිරගෙයින් නිදහස්‌ව ගොඩනැඟුවක්‌..

ප්‍රශ්නය - මෙහි සංයුතිය කෙබඳුද?

පිළිතුර - එහි නායකත්වය මා විසින් උසුලනවා. ආගමික නායකයන් දේශපාලනික සහ නොවන පිරිස්‌, වෘත්තිකයන්, ගොවීන්, සිවිල් සමාජ ක්‍රියාකාරීන්, බහුජන සංවිධාන ඇතුළු බොහෝ කොටස්‌ ඊට ඇතුළත්.

ප්‍රශ්නය - මේ සඳහා යෝජනා කර ඇති නම කුමක්‌ද?

පිළිතුර - දැනට අපි හිතුවේ ජාතික සභාවක්‌ ලෙස නම් කරන්නයි. පිවිතුරු හෙටක්‌ ජාතික සභාව එහි කාර්යභාරය ඉටු කර අවසන් නිසා මෙය ජාතික සභාව ලෙස නම් කරනවා. මෙය විකල්ප පාර්ලිමේන්තුවක්‌ වේවි.

ප්‍රශ්නය - ඔබ වහන්සේ ගොඩනගන්න උත්සාහ කරන්aනේ තවත් එක්‌ දේශපාලන පක්‍ෂයක්‌ද?

පිළිතුර - නැහැ. දේශපාලන පක්‍ෂයක්‌ හදන්නේ නැහැ. මෙය ප්‍රබල "පුළුල්" මහජන හා ජාතික ව්‍යාපාරයක්‌.

ප්‍රශ්නය - විපක්‍ෂයට යන්න අදහසක්‌ තියෙනවා වගෙයි.

පිළිතුර - කිසිම විපක්‍ෂයකට යන්නේ නැහැ. විපක්‍ෂයේ දේශපාලනය අපි දන්නවනේ. අරමුණක්‌ නැති දේශපාලන කෑගැසීම්වලට රට හදන්න බැහැ. මට දැන් දේශපාලන පක්‍ෂයක්‌ නැහැ. මම ස්‌වාධීන ජනතාවගේ මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරනවා.

ප්‍රශ්නය - ඔබ වහන්සේ සඳහන් කරන්නේ යහපාලන රජය ජනතාවට දුන් පොරොන්දු ඉටු වී නැති බවද?

පිළිතුර - ඔව්. ඔව්. එහෙම ප්‍රශ්නයක්‌ තිබෙනවා.

ප්‍රශ්නය - මේ ආණ්‌ඩුව ගැන සෑහීමට පත්විය නොහැකිද?

පිළිතුර - සෑහීමකට පත්විය හැකි සහ නොහැකි දේවල් තියෙනවා.

ප්‍රශ්නය - ඔබ වහන්සේ කල කිරීමෙන්ද සිටින්නේ?

පිළිතුරු - කලකිරෙන්නේ මොකටද?

ප්‍රශ්නය - ගිය ආණ්‌ඩුව පෙරළා දමා අලුත් ආණ්‌ඩුවක්‌ නිර්මාණය කරන්න පෙරමග නිර්මාණය කළේ ඔබ වහන්සේ. ඔබ වහන්සේ ගොඩනැඟූ ආණ්‌ඩුවෙන් දුන් පොරොන්දු ඉටු වෙන්නේ නෑ කියලා ඔබ වහන්සේම කියනවා නම්, ආණ්‌ඩුවට බලපෑම් කරන ජාතික ව්‍යාපාර ගොඩනඟන විට ජනතාවට හිතෙන්න පුළුවන් ඔබවහන්සේ කලකිරීමෙන් ඉන්න බව.

පිළිතුර - කිසිම කලකිරීමක්‌ නැහැ. මම මහින්ද මහත්තයගේ කාලයේදීවත් දැන්වත් කලකිරී නැහැ. කලකිරෙන මිනිස්‌සු කැලේ යන්න එපැයි. අලුත් බලවේග හදන්නේ ශක්‌තිය තියෙන, පණ තියෙන මිනිස්‌සු, මට හොඳ අධිෂ්ඨානයක්‌ ශක්‌තියක්‌ තියෙනවා. මගේ මනස මට විශ්වාසයි. ඒ අධ්‍යාත්මික ශක්‌තිය මට තියෙනවා.

ප්‍රශ්නය - හාමුදුරුවන් මේ බලවේග හදලා මොනවද කරන්න යන්නේ.

පිළිතුර - අපි ජනාධිපතිතුමාට කියන්න ඕනෑ ඔහුගේ වගකීම් ඉටු කරන ලෙස, තව අවුරුදු තුනයිනෙ a ආණ්‌ඩුවට තියෙන්නේ. ජනාධිපතිතුමාට සහ අගමැතිතුමාට මෙමගින් බලපෑමක්‌ කරන්න ඕනෑ.

ප්‍රශ්නය - අපේ රටේ බොහෝවිට එක එක ජාතියේ බලවේග නිර්මාණය කරනවා. නමුත් එAවායේ පැවැත්මක්‌ නැහැ. මේ බලවේගයත් ඒ වගේ වේවිද?

පිළිතුර - මෙය අලුත් බලවේගයක්‌ නෙමෙයි. මේ මට තියෙන බලවේගම තමයි. මෙය අමුතු බලවේගයක්‌ නෙමෙයි. මේ වෙලාවේ රට තුළ අසහනයෙන් පිරුණු ජනතාව විශාල ප්‍රමාණයක්‌ ඉන්නවා. ත්‍රස්‌තවාදය තිබූ කාලයේ ඊට අවශ්‍ය ලෙස බලවේගයක්‌ ගොඩනැඟුවා. එහිදී අපි තිබුණු බලවේග හැසිරෙව්වා. දැනුත් අපි කරන්නේ දේශපාලන බලයට බලපෑම් කළ හැකි බලවේගයක්‌ තැනීමයි. මෙය පවතිනවද නැද්ද කියලා ඉදිරියේදී බලාගන්න පුළුවන්.

ප්‍රශ්නය - ඔබවහන්සේa කියන දේට ආණ්‌ඩුව සවන් දේවිද?

පිළිතුර - මම තනියෙන් කිව්වට අහන්නේ නැහැනේ. ඔබතුමන්ලා. අපි කවුරුත් එකතුවෙන්න ඕනෑ. මම කියන කතාවට ජනතාවගේ ආශිර්වාදය හා එකමුතුව අවශ්‍යයි.

ප්‍රශ්නය - මේ බලවේගය ආණ්‌ඩුව පෙරළීමට දරන උත්සාහයක්‌ද?

පිළිතුර - ආණ්‌ඩුව පෙරළන්න ඕන නැහැ. ආණ්‌ඩුව පෙරළන්න බැහැනේ. අපි කරන්න ඕනෑ ආණ්‌ඩුව නිවැරැදි කරගන්න එක. ඒක තමයි අපේ වෙනස.

ප්‍රශ්නය - ඔබ වහන්සේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්‌. පාර්ලිමේන්තුව තුළදී මේ අරගලය කරන්න බැරි උනාද?

පිළිතුර - පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ පමණින් මෙවැනි කටයුත්තක්‌ සඳහා ශක්‌තිය ලැබෙන්නේ නැහැ. මට ගමන තියෙන්නෙ ජනතාව සමඟයි. ගිය ආණ්‌ඩුව කාලයේදීත්, මේ ආණ්‌ඩුවේදීත් සහ ඉදිරියේදීත් මම කරන්නේ ඒ දෙයයි.

ප්‍රශ්නය - මහින්ද රාජපක්‍ෂ රජය පෙරළා දැමීමට සම්මාදන් වූ ඇතැම් කොටස්‌ දැන් කියන්නේ ඒ ගැන කනගාටුවට හා පසුතැවෙන බවයි. ඔබ වහන්සෙත් එහෙමද?

පිළිතුර - නැහැ. නැහැ. . මම කිසිම කනගාටුවකට හෝ පසුතැවීමට පත්වෙලා නැහැ. චීනෙට ඉඩම් දෙන්න වරාය දෙන්න රජය සැලසුම් කරලා තිබුණේ. එය ඉටු කරේ නැති එක පමණයි තිබුණේ. චීනෙට රට දෙනවෝ කියලා කෑ මොර දුන් අය අද එය කිරීමයි මට තියෙන විවේචනය.

ප්‍රශ්නය - මතුව ඇති තත්ත්වය පිළිබඳ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සමග සාකච්ඡා කළේ නැද්ද?

පිළිතුර - සාකච්ඡා කරනවා. ජනාධිපතිතුමා සමඟ නිතරම සාකච්ඡා කරනවා. අගමැතිතුමා සමගත් සාකච්ඡා කරනවා. මම කියන ඒවා හොඳට ඇහුම්කන් දෙනවා. නමුත් වෙන දෙයක්‌ වෙන්නේ. ඒ නිසයි මාධ්‍යයට ඇවිත් කිව්වේ.

ප්‍රශ්නය - කරුණු කාරණා එහෙමනම් හාමුදුරුවනේ, මේ උත්සාහය ආණ්‌ඩුව හරි මගට ගන්න ප්‍රමාණවත් වේවිද?

පිළිතුර - මහජන බලය හමුවේ අමාරු දේවල් කරගන්න පුළුවන්. මහජන සමාජ බලපෑම් හමුවේ ආණ්‌ඩුව හොඳ තැනකට ගේන්න පුළුවන්.

ප්‍රශ්නය - ඒ වුණාට ආණ්‌ඩුව කියන්නේ ආණ්‌ඩුව කරන් ආ දේවල් කවුරු මොනවා කිව්වත් එලෙසම කරන බවයි.

පිළිතුර - ආ..... එහෙම හුඟක්‌ අය කියනවා. එහෙම කිව්වට කරන්න බැහැනේ.

ප්‍රශ්නය - හම්බන්තොට වරාය මුළුමනින් චීනයට ලබාදීම ඔබ වහන්සේ දකින්නේ කොහොමද?

පිළිතුර - ඔව්. මේ තුළින් අපි ඉන්දියාව මුළු මනින්ම අවුල් කරගන්නවා. ඉන්දියාව උතු=රේ ජාතිවාදය වපුරාවි. උතුරට කියාවි ඉල්ලපන් පෙඩරල් කියලා. චීනෙට දකුණයි, ඉන්දියාවට උතුරයි දීමද අපේ ප්‍රතිපත්තිය? චීනය නැතුව වැඩ කරන්න බැරි බව ඇත්ත. නමුත් චීනය සමග ගනුදෙනු කරන්නේ කොහොමද කියලා දැනගන්න ඕනෑ. තනි තීරණ නොගත යුතුයි. ඉන්දියාව ආසන්නයේ චීන බලය ගොඩනැගෙන එකට ඉන්දියාව කිසිසේත් කැමැති නැහැ. ඉන්දියාව කුපිත වන ලෙස ආර්ථික ප්‍රතිපත්ති සෑදිය යුතු නැහැ.

ප්‍රශ්නය - මැතිවරණ සමයේ වේදිකාවන්හිදී සඳහන් කළ එක්‌ ප්‍රධාන පොරොන්දුවක්‌ තමයි විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බව. නමුත් මේ වනතෙක්‌ එය ඉටුවී නැහැ.

පිළිතුර "මෛත්‍රී යුගයක්‌" ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බව සඳහන් කර නැහැ.

ප්‍රශ්නය - සාධාරණ සමාජයක්‌ සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති අපවත්වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නායක හිමියන් නිතර සඳහන් කළේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බව.

පිළිතුර - සෝභිත හිමියන්ගේ විතරක්‌ නෙමෙයි. පිවිතුරු හෙටක්‌ උදෙසා ජාතික සභාවේ අතුරලියේ රතන කියලා හාමුදුරු කෙනෙක්‌ හිටියානේ. අපි හාමුදුරුවන් දෙන්නටම අදහස්‌ තිබුණා. අපි දෙන්නගේ එම අදහස්‌වල සංකලනය තමයි ජනාධිපතිවරයා අරන් තියෙන්නේ. මෛත්‍රිපාල සිරිසේන මහතා ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සුදුසුම දේ ලිව්වා.

ප්‍රශ්නය - වත්මන් ජනාධිපතිවරයා මීළඟ 2020 ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතු බව ශ්‍රීලනිප තුළින් කතිකාවතක්‌ නිර්මාණය වී තිබෙනවා. මේ ගැන ඔබ වහන්සේගේ අදහස කුමක්‌ද?

පිළිතුර - අනාගත ජනාධිපතිවරයකු පත්කර ගැනීම පිළිබඳ මගේ කිසිදු ස්‌ථාවරයක්‌ නැහැ. මම කල්පනා කරන්නේ මේ පත්වෙලා ඉන්න ජනාධිපතිවරයාගෙන් රටට වැඩක්‌ ගැනීමයි.

ප්‍රශ්නය - නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව පිළිබඳ ඔබවහන්සේගේ මතය කෙබඳුද?

පිළිතුර - කාටවත් ඕන විදිහට නව ව්‍යවස්‌ථාවක්‌ ගේන්න බැහැ. එහි කෙටුම්පත දැක්‌කහම එහි ප්‍රශ්නයක්‌ ඇති බව මට හැඟෙනවා. එය සම්මත කරන්න නම් පාර්ලිමේන්තුවට දාන්න ඕනනේ. ඊට පසු ජනමත විචාරණයකුත් ඕනනේ.

ප්‍රශ්න - ඔබ වහන්සේ තවමත් ජනාධිපති උපදේශකයෙක්‌ ද හාමුදුරුවනේ.

පිළිතුර - ඔව්.

ප්‍රශ්නය -එය තවදුරටත් හොබවනවාද?

පිළිතුර - අනිවාර්යයෙන්ම ඔව්. තවමත් උපදෙස්‌ දෙනවානේ.

ප්‍රශ්නය - නමුත් උපදෙස්‌ ක්‍රියාත්මක වන බවක්‌ පේන්න නැහැ නේද?

පිළිතුර - උපදෙස්‌ ක්‍රියාත්මක වනවා. නොවුණ අවස්‌ථාවලදී ඒ බව මහජනයාට කියනවා.

ප්‍රශ්නය - මේ ඒ වගේ අවස්‌ථාවක්‌ද?

පිළිතුර - ඔව්.

ප්‍රශ්නය - එම සිද්ධිය කුමක්‌ද?

පිළිතුර - ව්‍යවස්‌ථා සංශෝධනය පිළිබඳ ජනතාව කිවූ සීමාවට එහා දේවල් සිද්ධ වෙනවා. ඒ ගැන මම ජනතාවට කියන්න ඕනනේ. මට ගොළුවෙක්‌ වෙන්න බැහැ. අපි ගොළුවෝ නොවන එහෙයියෝ නොවන උපදේශකයෝ.

ප්‍රශ්නය - ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් ඇමැති පාඨලී චම්පික රණවක මහතා අතර ගැටුමක්‌ ඇති බව කියෑවෙනවා. එහි සත්‍ය අසත්‍යතාවය කෙසේද?

පිළිතුර - මෙහෙමයි.. පාඨලී ඇමැතිතුමා ආර්ථිකය පිළිබඳ හිතන්නේ කොහොමද කියලා මම දන්නෙ නැහැ. ආර්ථිකය ගැන එතුමා හිතන විදිහයි මම හිතන විදිහයි වෙනස්‌. එතුමා සමග මෑතකදී මට සාකච්ඡා කරන්න ලැබුණේ නැහැ. අපි අතර මහා ගැටුමක්‌ නැහැ. මතගැටුම් ඕන තැනක තියෙනවානේ.

ප්‍රශ්නය - ඔබ වහන්සේ මේ වනවිට ජාතික හෙළ උරුමයේ නැද්ද?

පිළිතුර - මම කිව්වනේ මම දැන් ස්‌වාධීන මන්ත්‍රීවරයෙක්‌ කියලා. අයින් වෙනවාද? නැද්ද? සාමාජිකයකු ද නැද්ද? යන්න නැවත අහන්න දෙයක්‌ නැහැ.

ප්‍රශ්නය - ඔබ වහන්සේගේ කතා බහින් දක්‌නට තියෙන්නේ ජාතික හෙළ උරුමය ගැන කලකිරීමෙන් ඉන්නා බවයි.

පිළිතුර - මා මීට කලිනුත් කිව්වනේ මට කලකිරීම කියලා දෙයක්‌ නෑ කියලා. කලකිරිලා කිසිවක්‌ කරන්න බැහැ.

ප්‍රශ්නය - ජාතික හෙළ උරුමය පිළිබඳ විවේචනයක්‌ තියෙනවා වගෙයි.

පිළිතුර - මට හැමදේම ගැනම විවේචනයක්‌ තියෙනවා. ඒ නිසයි මම කාගෙවත් නායකත්වයක්‌ නැතුව මගේ නායකත්වයෙන් වැඩ කරන්නේ.

ප්‍රශ්නය - හිටපු ජනාධිපතිවරයා සඳහන් කර තිබුණා මෙම වසරේ රජය පෙරළා දමන බව. ඊට සහායක්‌ වශයෙන් ද මේ සංවිධානය ගොඩනැඟුවේ?

පිළිතුර - මහින්ද මහත්තයාට ආණ්‌ඩුව පෙරළන්නවත් ආපසු ජනාධිපතිවෙන්නවත් බැහැනේ. එතුමාට ආණ්‌ඩුවක්‌ පිහිටුවන්න බැහැ. ඒක කවදාවත් වෙන්නේ නැහැ. එතුමාට නැවත ජනාධිපතිවරණයට ඉල්ලන්නත් බැහැ.

ප්‍රශ්නය - ඔබ වහන්සේ නිතරම ආණ්‌ඩු පෙරළන්න උත්සාහ දරන හාමුදුරුවන් වහන්සේ නමක්‌ බව ඇතැමුන් සඳහන් කරනවා."

පිළිතුර - ගිය ආණ්‌ඩුව කාලයේදීත් මම කරන්න හැදුවේ ආණ්‌ඩුව පෙරළන්න නෙවෙයි. මට ඕන වුණේ මහින්ද රාජපක්‍ෂ මහතා ලවා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සංශෝධනය කරන්නයි. ඔහුට ආණ්‌ඩුව තුළ තුනෙන් දෙකක බලයක්‌ තිබුණා. එය නොකෙරුණාමයි අපි ආණ්‌ඩුව පෙරළුවේ. මේ ආණ්‌ඩුව හොඳ නැත්නම් අපි හොඳ ආණ්‌ඩුවකට යා යුතුයි. ඒ සඳහා බලවේග තැනිය යුතුයි. ඒ ගැන කිසිදු විවාදයක්‌ නැහැ.

ප්‍රශ්නය - ඔබ වහන්සේ මේ හරහා තවත් දේශපාලන පක්‍ෂයක්‌ නිර්මාණ කරන්නද උත්සාහ කරන්නේ?

පිළිතුර - කිසිසේත් නැහැ. මම ආයිත් දේශපාලන පක්‍ෂ හදන්න එන්නේ නැහැ. මමත් දැන් වයසක මනුස්‌සයානේ. පක්‍ෂ හද හදා ඉන්න කාලයක්‌ නැහැ. මට වගකීමක්‌ ඇත්තේ අපි හදපු ආණ්‌ඩුවෙන් වැඩ කර ගන්නයි. දුන් පොරොන්දු ඉටු කරගන්නයි. ඒකට පොඩ්ඩක්‌ ජනතාව සමග හයියක්‌ ගන්න ඕනෑ.

ප්‍රශ්නය - බලයට පත්වන ආණ්‌ඩු හැමදාමත් දුන් පොරොන්දු ඉටු නොකරන නිසා ජනතාවට දිගින් දිගටම අලුත් බලවේග නිර්මාණය කරමින් ඉන්න වෙයි වගේ නේද හාමුදුරුවනේ.?

පිළිතුර - මේ අවුරුදු දහයේ මොනවා හරි මේ රටට කළේ නැත්නම් අපිට මැරෙන්න වෙන්නේ අඬලා. අපිට හිනාවෙන්න දවසක්‌ ඒවි කියලා මම හිතනවා. මේ රට හදන්න ඕනෑ කියලා පිපාසයක්‌, හදවතේ දැනෙන උෙද්‍යාaගයක්‌, ලේ නහර කකියන ගුණයක්‌ අපි ළඟ තියෙනවා. ඒ නිසයි මේ දඟලන්නේ.

ප්‍රශ්නය - හාමුදුරුවන් අවුරුදු දහයක්‌ ගැන පවසන්නේ කුමක්‌ද?

පිළිතුර - මට දැන් වයස අවුරුදු පනස්‌ පහක්‌ වෙනවා. අපේ පරම්පරාව අනුව හොඳින් වැඩ කරන්න තියෙන්නේ තව අවුරුදු දහයයිනේ. ඒ නිසයි මම වැඩ කරන්න තව තියෙන්නේ අවුරුදු දහයයි කිව්වේ.

දිනමිණ පුවත්පත ඇසුරෙනි

More News »