ආනයනික හාල් කිලෝව රු:76යි

Jan 21, 2017 09.18am
feature-top
වැඩියෙන් විකුණන්න බැහැ

ආනයනය කරන සහල් කිලෝ 01ක් කිසිදු අයුරකින් රුපියල් 76කට වඩා වැඩි මිලකට වෙළෙඳපොළේ අලෙවි කළ නොහැකි බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අවධාරණය කරයි.

පෞද්ගලික වෙළෙඳුන්ට සහ සහල් මෝල් හිමියන්ට අවශ්‍ය පරිදි සහල් මිල ඉහළ නංවා සාමාන්‍ය ජනතාව අපහසුතාවට පත් කළ නොහැකි බව පැවසූ ජනාධිපතිවරයා කිසිදු අවස්ථාවක වෙළෙඳ පොළේ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල හිඟයක් ඇතිවිය නොහැකි බවත් චක්‍රලේඛවලට සීමා නොවී ජනතා අවශ්‍යතා සපුරාලීමට හැකි සෑම පියවරක්ම ගැනීම නිලධාරින්ගේ වගකීමක් බවත් ප්‍රකාශ කළේය. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඒ බව ප්‍රකාශ කළේ මතුවිය හැකි නියං තත්ත්වය හමුවේ ජනතාවට සහන සැලසීමට සහ රජයේ සැලසුම් කි‍්‍රයාත්මක කිරීම සඳහා පත් කරන ලද විශේෂ ජනාධිපති කාර්ය සාධන බළකාය ඊයේ (20) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී හමුවූ අවස්ථාවේදීය. සහල් ආනයනයේදී පරිභෝජනයට සුදුසු සහල් ආනයනය කිරීමට වගබලාගත යුතු බවට ද ජනාධිපතිවරයා මෙහිදී වෙළෙඳ අමාත්‍යාංශය වෙත උපදෙස් දුන්නේය. රජය සතු ගබඩාවලින් නිකුත් කර ඇති වී තොග ලබාගත් වී මෝල් හිමියන් ඒවා සහල් බවට පත්කර වෙළෙඳ පොළට මුදා හැර තිබේදැයි සොයාබලා වාර්තාවක් ලබාදෙන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී වී අලෙවි මණ්ඩලයට දැනුම් දුන්නේය. තම පෞද්ගලික ඉල්ලීමක් මත ත්‍යාගයක් වශයෙන් සහල් මෙට්‍රික් ටොන් දස දහසක් ඉදිරි සති කිහිපය තුළ ශී‍්‍ර ලංකාවට ලබාදීමට ඉන්දුනීසියා රජය කැමැත්ත පළ කර තිබෙන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය. මතුවිය හැකි නියං තත්ත්වයට මුහුණදීම සඳහා රජයේ කෙටි කාලීන සහ දිගුකාලීන වැඩපිළිවෙළ මෙහිදි දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්වූ අතර දිස්ති‍්‍රක් මට්ටමින් පවතින ගැටලු පිළිබඳ අදාළ දිස්ති‍්‍රක් ලේකම්වරුන්ගෙන් කරුණු විමසීමෙන් අනතුරුව එම ගැටලු විසඳීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබාදීමට ජනාධිපතිවරයා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත උපදෙස් දුන්නේය. ජනතාවට අවශ්‍ය පානීය ජලය සුරක්ෂිත කිරීමෙන් අනතුරුව වගා කටයුතු සඳහා ජලය නිකුත් කිරීමට ද උපදෙස් දුන් ජනාධිපතිවරයා ජනතාවට පානීය ජලය සැපයීම සඳහා අවශ්‍ය ජල බවුසර්, ජල පොම්ප සහ වතුර ටැංකි කඩිනමින් අදාළ දිස්ති‍්‍රක්ක වෙත ලබාදීමට ද උපදෙස් දුන්නේය. ජනතාවට දෛනික වශයෙන් අවශ්‍ය සහන සැලසීමේ දී කිසිදු අවස්ථාවක කාර්ය මණ්ඩලවල හිඟයක් ඇති විය නොහැකි අතර ඒ සඳහා ති‍්‍රවිධ හමුදාවේ සහය ඕනෑම අවස්ථාවක ලබාගතහැකි බව ද ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය. නියඟයෙන් පීඩාවට පත්වන ජනතාවට දෛනික වශයෙන් පැන නැඟෙන ගැටලු විසඳීම සඳහා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ සහ ජල සම්පාදන අමාත්‍යාංශයේ නිලධාරියෙකු සෑම දිස්ති‍්‍රක්කයක් සඳහාම පත් කිරීම ටද උපදෙස් දුන් ජනාධිපති එම නිලධාරින් දිස්ති‍්‍රක් ලේකම්වරුන් සමඟ සම්බන්ධිකරණයෙන් කටයුතු කළයුතු බව ද පැවසීය. නියං තත්ත්වය සමඟ මතුව ඇති සෞඛ්‍ය ගැටලු පිළිබඳ අවධානය යොමු කරමින් විශේෂ වැඩසටහන් කි‍්‍රයාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට උපදෙස් දුන් ජනාධිපති විදුලිය සහ ජලය අරපිරිමැස්මෙන් භාවිතය පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සැකසීමට ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත උපදෙස් දුන්නේය. එක්සත් ජාතින්ගේ සංවිධානයේ, ලෝක බැංකුවේ සහ ලෝක ආහාර වැඩසටහනේ නියෝජිතයින් ද මෙම සාකච්ඡාවට එක්ව සිටි අතර මතුවිය හැකි ත්ත්ත්වය සඳහා මුහුණදීමට ශී‍්‍ර ලංකාවට අවශ්‍ය ද්‍රව්‍යමය සහ මුල්‍යමය ආධාර ලබාදීමට කටයුතු කරන බව ඔවුහු ප්‍රකාශ කළහ. ඇමැතිවරුන් වන අනුර පි‍්‍රයදර්ශන යාපා, රාජිත සේනාරත්න, සුසිල් ප්‍රේමජයන්ත, රවුෆ් හකීම්, පී. හැරිසන්, රංජිත් සියඹලාපිටිය, දුමින්ද දිසානායක, ගයන්ත කරුණාතිලක, රිෂාඩ් බදුර්දීන් මහත්වරුන් ඇතුළු මැති ඇමැතිවරුන් ද, සියලුම පළාත් මහ ඇමැතිවරුන් ද, ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන් සහ රාජ්‍ය නිලධාරින් මේ සාකච්ඡාවට එක්වූහ.



දිනමිණ පුවත්පත ඇසුරෙනි

More News »