තාජුඩීන් ඝාතනය නඩුව

Jan 20, 2017 08.56am
feature-top
වාහනයේ සිටි අය සොයන්න සීඩි පටය කොළඹ පරිගණක පීඨයට

රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන්ගේ වාහනය ලුහුබැඳ ගිය වාහනයේ සිටි පුද්ගලයා පැහැදිලි කර ගැනීම සඳහා අධිකරණ භාරයේ තිබූ සී.සී.ටී.වී. දර්ශන ඇතුළත් සී.ඩී. පටය කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක පීඨය වෙත යොමු කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජේ. ටොස්කි මහතා ඊයේ (19) රහස් පොලිසියට නියම කළේය.

සිද්ධිය වූ දින රාත්‍රියේ මරණකරුගේ වාහනය ලුහුබැඳ ගිය වාහනයක් පිළිබඳව සී.සී.ටී.වී. දර්ශන ඇති බවත් එම වාහනයේ සිටි පුද්ගලයා කවුරුන්ද? යන්න පැහැදිලි කර ගැනීමට මෙම සී.ඩී. තැටිය කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක පීඨය වෙත යොමු කරන ලෙසට රහස් පොලිසිය අධිකරණයෙන් කළ ඉල්ලීම සළකා මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය කළේය.

මීට අමතරව සැකකටයුතු කාර් රථය කිනම් වර්ගයේ නිෂ්පාදිත කුමන වර්ගයකට අයත් කාර් රථයක් ද දැයි පරීක්ෂා කිරීම සී.සී.ටී.වී. දර්ශන ඇතුළත් සී.ඩී. තැටිය නො. 337, මීගමුව පාර, වත්තල පිහිටි ටොයෝටා ලංකා පුද්ගලික සමාගම වෙත ද යොමු කර ඇති බවට අධිකරණයෙන් කරුණු අනාවරණය විය. සැකකරුවන් වන නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති චම්පික සුමිත් පෙරේරා හා හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා ඊයේ (19) අධිකරණය වෙත බන්ධනාගාර අධිකාරීවරයා ඉදිරිපත් කර තිබිණ.

වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් රජයේ නීතිඥ ඩිලාන් රත්නායක මහතා පැවසුවේ සිද්ධියට අදාළ විමර්ශන අවසන් නොමැති බවත් තාජුඩීන් සේවය කළ සිප්ලස් වැකේෂන් ආයතනයේ සේවකයින්ගේද ප්‍රකාශ ලබා ගෙන වැඩිදුර විමර්ශන පවත්වන බවය.

මීට අමතරව මාලඹේ සයිටම් ආයතනයේ තිබී සොයාගත් ශරීර කොටස්වලට අදාළ ඩී.එන්.ඒ. වාර්තා බලාපොරොත්තුවෙන් සිටින බවට හෙතෙම පැවසීය.

වෛද්‍ය සභාව මෙහිදී පැවසුවේ හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර මහතාට එරෙහි විමර්ශන මේ මස 23 වන දිනට බොහෝ දුරට අවසන් වන බවය.

පළමුසැකකරු හා දෙවන සැකකරු වෙනුවෙන් සිටි නීතිඥයින් සිය සේවාදායකයින් මාස 10කට අධික කාලයක් බන්ධනාගාරගත කර සිටි බවත් ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් පවා අහිමි වී ඇති බව පැවසීය.

සැකකරුවන්ට එරෙහිව ප්‍රමාණවත් සාක්කි ඇති බැවින් හා සාක්කි වසන් කිරීමේ චෝදනා මත සැකකරුවන් බන්ධනාගාරගත කර සිටින බවට රජයේ නීතිඥවරයා සැකකරුවන්ගේ නීතිඥවරුන් වෙත ප්‍රතිඋත්තර සපයමින් පැවසීය.

අදාළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා අධිකරණ බාරයේ තිබෙන සී.ඩී. තැටිය කොළඹ විශ්විද්‍යාලයේ පරිගණක පීඨය වෙත යොමු කර වාර්තාවක් කැඳවමින් සැකකරුවන් ලබන මස 2 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කළේය.

දිනමිණ පුවත්පත ඇසුරෙනි

More News »