දුමින්ද - චමින්ද ඇතුළු පස්දෙනා හිරෙන් පැන යන සැලසුමක්

Jan 17, 2017 09.08am
feature-top
භාරත ලක්ෂ්මන් ඝාතන නඩුවේ ත්‍රිපුද්ගල නඩු තීන්දුවට අනුව මරණීය දණ්ඩනය නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා දෙමටගොඩ චමින්ද ඇතුළු සිරකරුවන් පස්දෙනකු බන්ධනාගාරයෙන් පලායෑමට සැලසුම් කිරීමක් පිළිබඳව වහා රහස් පොලිසිය වෙත ප්‍රකාශයක් ලබාදෙන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයාට ඊයේ (16) නියෝග කළේය.

මීට අමතරව එම සිරකරුවන් රඳවා සිටින මැදිරි ප්‍රධාන ජේලර්වරයාටද රහස් පොලිසිය වෙත ප්‍රකාශ ලබාදෙන ලෙසට මෙහිදි නියමවිණ.

කොළඹ මහාධිකරණ අංක 6 ත්‍රිපුද්ගල මහාධිකරණ නඩු අංක 7781/2015 දරන නඩුවේ සිරකරුවන් වන අනූෂ තුෂාර ද මෙල්, සිරිනායක පතිරනලාගේ චමින්ද රවි ජයනාත්, කොවිල්ලේ ගෙදර දිසානායක මුදියන්සේලාගේ සරත් බණ්ඩාර, සී. එම්. ප්‍රියන්ත ජනක බණ්ඩාර හා අරුමාදුර ලොරන්ස් රෙමෙලෝ දුමින්ද සිල්වා මෙලෙස පලායෑමට සැලසුම් කරන බවට රහස් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණ.මෙම සිරකරුවන් බන්ධනාගාරයෙන් පලායාමට සැලසුම් කරන බවට විද්‍යුත් මාධ්‍යයෙහි පළ වූ ප්‍රවෘත්තිය සම්බන්ධව නීතිපතිවරයාගේ උපදෙස් මත මෙම විමර්ශනය රහස් පොලිසිය ආරම්භ කර ඇත.

මෙම සැකකරුවන් ආරක්ෂා කිරීමට යොදාගෙන ඇති ආරක්ෂක ක්‍රමවේදය, සිරකරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඥාතීන්ට හා වෙනත් පුද්ගලයන්ට සිරකරුවන් හමුවීමට අවස්ථාව ලබාදීමේදී ගෙන ඇති ආරක්ෂක පියවර පිළිබඳ හා මෙම සිරකරුවන් පලායෑමට උත්සාහ කරන බවට බන්ධනාගාර බුද්ධි අංශය වෙත තොරතුරු ලැබී ඇත්ද? යන්න අනාවරණය කර ගැනීම සඳහා වැලිකඩ බන්ධනාගාරයේ බන්ධනාගාර අධිකාරිවරයා හා සිරකරුවන් රඳවා සිටින මැදිරි භාර ප්‍රධාන ජේලර්වරයාගෙන් ප්‍රකාශ ලබාගැනීමට 1979 අංක 15 අපරාධ නඩු විධාන සංග්‍රහයේ 124 වගන්ති ප්‍රකාරව රහස් පොලිසිය අධිකරණයෙන් මෙම ඉල්ලීම කර තිබිණ.

රහස් පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්. ඒ. එස්. රන්ජිත් මහතා අධිකරණය වෙත කරුණු වාර්තා කළේය.

දිනමිණ පුවත්පත ඇසුරෙනි

More News »