නියං තත්ත්වයක් හමුවේ සහන ලබාදීමට එ.ජා. සංවිධානයේ සහය

Jan 17, 2017 09.05am
feature-top
එළැඹිය හැකි නියං සමයේදී ශ්‍රී ලාංකීය ජනතාවට ලබාදිය යුතු සහන පිළිබඳ විමසා බැලීම සඳහා එක්සත් ජාතීන්ගේ නියෝජිතවරිය, එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනේ නියෝජිත සහ ශ්‍රී ලංකාව සඳහා වන අධ්‍යක්ෂ, එක්සත් ජාතීන්ගේ ‍ලෝක ආහාර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂවරිය ඇතුළු නියෝජිත පිරිසක් ඊයේ (16) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවු අවස්ථාව.

 ඉදිරියේදී මතුවිය හැකි නියං තත්ත්වය හමුවේ පීඩාවට පත්වන ශ්‍රී ලාංකික ජනතාවට අවශ්‍ය සහන සැලසීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහ ඊට අනුබද්ධිත සියලු ආයතනවල පූර්ණ සහය ලබාදෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සංවර්ධන වැඩසටහනේ ශ්‍රී ලංකා නේවාසික සම්බන්ධීකාරක Una McCauley ඌනා මැකෝලි මහත්මිය ප්‍රකාශ කළාය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික නියෝජිතවරිය, එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනේ නියෝජිත සහ ශ්‍රී ලංකාව සඳහා වන අධ්‍යක්ෂ, එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂවරිය ඇතුළු නියෝජිත පිරිසක් ‍ඊයේ(16) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කළහ.

වියළි කාලගුණයත් සමඟ මතුවිය හැකි නියං තත්ත්වයට රජයක් ලෙස මුහුණදෙමින් ජනතාවට අවශ්‍ය සහන සැලසීම සඳහා විශේෂ ජනාධිපති කාර්ය සාධක බළකායක් ද පත්කිරීමට ජනාධිපතිතුමා කටයුතු කිරීම නියෝජිත පිරිසගේ ඇගයීමට ලක්විය.

ශ්‍රී ලංකාවට මුහුණදීමට සිදුවන ආපදා තත්ත්වය පිළිබඳ ජාත්‍යන්තර ප්‍රජාවගේ අවධානය යොමුකර පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීම සඳහා ඔවුන්ගෙන් ලබාගත හැකි සෑම සහයක්ම ශ්‍රී ලංකාවට ලබාදීමට මැදිහත්වන බවද නියෝජිත පිරිස මෙහිදී සඳහන් කළහ.

පළමු පියවර ලෙස නියං තත්ත්වය පිළිබඳ පරීක්ෂා කිරීම, සමීක්ෂණය හා සන්නිවේදනය යන ක්ෂේත්‍රවල විශේෂඥ දැනුම සැපයිය හැකි බව ද නියෝජිත පිරිස සඳහන් කළහ.

එමෙන්ම ජනතාවට අවශ්‍ය පිරිසිදු පානීය ජලය ලබාදීම සඳහා ප්‍රමාණවත් ජල බවුසර් සපයාගැනීම, ආහාර සහ සෞඛ්‍ය පහසුකම් සැපයීම මෙන්ම නියඟය හමුවේ පීඩාවට පත්වන ජනතාව ණයගැතියන් බවට පත්වීම වළක්වමින් ඔවුන්ට සුරක්ෂිත ආදායම් මාර්ග හඳුන්වාදීම වැනි කරුණු පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්වූ අතර ශ්‍රී ලාංකීය ජනතාව පීඩාවට පත්වන සෑම අවස්ථාවකම එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් පිරිනැමෙන යුහුසුළු මැදිහත්වීම පිළිබඳව මෙහිදී ජනාධිපතිතුමා සිය ස්තුතිය පළ කර සිටියේය.



දිනමිණ පුවත්පත ඇසුරෙනි

More News »