දිළිඳුකම පිටුදකින ජාතික වැඩසටහනට කෝටි 22100ක්

Jan 16, 2017 09.21am
feature-top
දිළිඳුකම පිටුදැකීමේ ජාතික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට මේ වසරේදී රුපියල් කෝටි විසිදෙදහස් එකසියයක (බිලියන221) මුදලක් ආණ්ඩුව වෙන්කොට ඇත. ඒ අනුව ලක්ෂ 21ක් තරම් වන අඩු ආදායම්ලාභී ජනතාවට මේ වැඩපිළිවෙළ යටතේ සෙත සැලසීම සිදුවේ.වසර 2017 දිළිඳුකම පිටුදැකීමේ වසර ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නම් කළ අතර, එය වචනයට සීමා නොකොට ක්‍රියාවක් බවට පත් කිරීමට මේ සාවිශාල මුදල වෙන් කළ බව මුදල් ඇමැති රවි කරුණානායක මහතා “දිනමිණ”ට ප්‍රකාශ කෙළේය.

ශ්‍රී ලංකාවට වසර 1948 දී බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලැබුණුදා සිට මේවනතෙක් රට පාලනය කළ විවිධ ආණ්ඩු දුප්පත්කම තුරන් කිරීමට කටයුතු කළ බව කී මුදල් ඇමැතිවරයා, මේ වනවිට රටේ ජනගහනයෙන් සියයට 7ක ප්‍රමාණයක දිනක ආදායම ඇමෙරිකානු ඩොලර් 1.25කට වඩා අඩුවීම කනගාටුවට කරුණක් බව ද කීය.“අද වනවිට රටේ අඩු ආදායම්ලාභී ජනගහනයෙන් සියයට 50කට දිනකට ඇමෙරිකානු ඩොලර් දෙකක ආදායමක් ලැබෙන්නේ නැහැ.

අපි වහාම මේ කනගාටුදායක තත්ත්වයෙන් ජනතාව බේරාගන්න ඕනෑ යැයි කී මුදල් ඇමැතිවරයා, රටේ ලක්ෂ 21ක පිරිසකට සෙත හදන්න නව වැඩපිළිවෙළ මේ වසරේ ආරම්භ කරන බව ද කියා සිටියේය. අපේ රටේ සමෘද්ධි ව්‍යාපාරයෙන් ලක්ෂ 15ක ජනතාවට සෙත සැලැසෙනවා. නමුත්; මේ පිරිස්වලට සැබෑ ලෙසම ආදායම් වැඩිදියුණු කර ගන්න ආණ්ඩුව තවත් උදව් කරන්න ඕනෑ.

ඒ දේ ඉටුකරන්න අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අපට අපදෙස් ලබාදී තිබෙනවා යැයි සඳහන් කෙළේය.දුප්පත්කමින් රට නිදහස් කරගන්න රුපියල් කෝටි 22100ක් වෙන් කළ අපි, මේ මුදල් ප්‍රතිලාභ හිමිවිය යුතු පිරිස් වෙනම ලබාදීමටයි පියවර ගන්නේ යැයි ද මුදල් ඇමැතිවරයා කීය.

ජනාධිපති මහලේකම් කාර්යාලය, අගමැති කාර්යාලය, සමාජ සවිබල ගැන්වීමේ හා සුබසාධන අමාත්‍යංශය ප්‍රධාන රජයේ සියලු අමාත්‍යංශ, දෙපාර්තමේන්තු එකට එක්ව දිළිඳුකමින් රට මුදාගැනීමේ ජාතික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට අත්වැල් බැඳගන්නා බව ජනාධිපති ලේකම් පී. බී. අබේකෝන් මහතා ප්‍රකාශ කෙළේය.

දිනමිණ පුවත්පත ඇසුරෙනි

More News »