ජී.එස්.පී ලැබුණේ ෆෙඩරල් ක්‍රමයක් හදන පොරොන්දුවට නොවේ

Jan 16, 2017 08.59am
feature-top
රජයට කීර්තිය හිමි වීම වළක්වන ප්‍රකාශ හෙළා දකින බව ජනපති කියයි

ජී.එස්.පී සහනය නැවත ශ්‍රී ලංකාවට ලබා දීමට යුරෝපා සංගමය තීන්දු කළේ රට තුළ ජාතික සංහිඳියාව සහ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට රජය ගෙනයන වැඩපිළිවෙළට විනා ෆෙඩරල් ක්‍රමයක් රට තුළ ස්ථාපිත කිරීමේ පොරොන්දුව මත නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

ජී.එස්.පී සහනය සමඟින් රජයට හිමි වෙන කීර්තිය සහ ගෞරවය වැළැක්වීමට කඩාකප්පල්කාරීන් පිරිසක් විසින් සිදු කරන අසත්‍ය , අශීලාචාර ප්‍රකාශය තමා ප්‍රතික්ෂේප කරන බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනාධිපතිවරයා එසේ සඳහන් කළේ ගාල්ල ලබුදූව සිරිධර්ම විද්‍යාලයේ පෙරේදා(14)පැවැති නිල මෙහෙවර ජනපති ජනතා සේවය වැඩසටහනේ සමාප්තියෙන් පසුව පැවැති ආගමික සංහිඳියාව වැඩපිළිවෙළට එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා “යුරෝපා සංගමය ජී.එස්.පී. සහනය නැවත ශ්‍රී ලංකාවට ලබාදුන්නේ මේ රටේ ෆෙඩරල් ක්‍රමයක් ඇති කිරීමේ පොරොන්දුව මත යැයි පුවත් පත් වාර්තා කරනවා. ඒ පිළිබඳ කනගාටුව ප්‍රකාශ කරනවා. මාධ්‍ය නිදහස වැරදි අයුරින් භාවිතා නොකර රටේ ජනතාවට නිවරැදි සහ සත්‍ය තොරතුරු ලබාදීමේ වගකීම ඉටු කරන ලෙස මා නැවත නැවතත් මාධ්‍යයෙන් ඉල්ලා සිටිනවා. මෙම උත්සාහය රට ෆෙඩරල් කිරීමට හෝ කැඩීමට හෝ රට බිඳ දැමීමට නොවෙයි. රට තුළ නැවත යුද්ධයක් ඇති වීම වළක්වා ජාතික සමඟිය සමඟිය ගොඩනැගීම සඳහායි. ,

රටේ ජනතාව මා ජනාධිපතිවරයා ලෙස තෝරාපත් කරගන්නා අවස්ථාවේ රටේ ඉදිරි ගමනට බොහෝ බාධා එල්ලවී තිබූණා. වත්මන් ආණ්ඩුව රටේ වගකීම භාරගැනීමෙන් අනතුරුව එම ප්‍රශ්න සියල්ල විසඳමින් ලෝකයේ සියලු රාජ්‍ය සමඟින් මිත්‍රත්වය ගොඩනඟා ගත්තා. රටට විදේශ ආයෝජන ගෙන එන විට රට විකුණන බවට ඇතැමුන් සටන් පාඨ ඉදිරිපත් කරනවා. අතර වසර දහස් ගණනක පෞඩ ඉතිහාසයකට හිමිකම් කියන අපේ උතුම් මාතෘභූමියේ වටිනාකම මැනවින් හඳුනන රජයක් ලෙස භූමියේ සුරක්ෂිතතාවය සහ පෝෂණය වෙනුවෙන් රජය නිරන්තරයෙන් කැපවී සිටිනවා යැයිද සඳහන් කළේය.


දිනමිණ පුවත්පත ඇසුරෙනි

More News »