ජනතාවට සහන දෙන්න ජනපති කාර්ය සාධක බළකායක්

Jan 14, 2017 09.36am
feature-top
වියළි කාලගුණ තත්ත්වයත් සමඟ ඉදිරියේ දී මතුවිය හැකි නියං තත්ත්වයට රජයක් ලෙස මුහුණ දෙමින් පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීම සඳහා ජනාධිපති කාර්ය සාධන බළකායක් පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් ලබා දී තිබේ. නියඟය සමඟ මතුවන අභියෝග සහ රජයක් ලෙස ඊට මුහුණදීම සඳහා, අනුගමනය කළයුතු වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවක දී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේය.

පීඩාවට පත්වන ජනතාවට පානීය ජලය බෙදාදීම, මතුවිය හැකි සෞඛ්‍ය ගැටලු සඳහා විසඳුම් ලබාදීම, ආහාර ඇතුළු අනෙකුත් අවශ්‍යතා සපුරාලීම, විදුලිබල උත්පාදන අභියෝග ජය ගැනීම ආදි කරුණු පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.

පීඩාවට පත්වන ජනතාවට පානීය ජලය බෙදාදීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් සහ ත්‍රිවිධ හමුදාව එක්ව වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිත අතර ඒ පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.

ඒ සඳහා අවශ්‍ය ජල බවුසර් හා ජල ටැංකි සපයා ගැනීමේදී තානාපති කාර්යාලවල සහ ජාත්‍යන්තර සංවිධානවල සහාය ලබාගැනීමේ හැකියාව පෙන්වා දුන් ජනාධිපතිවරයා අවශ්‍යනම් ආපදා කළමනාකරණ අමාත්‍යාංශය හරහා ජල බවුසර් මිලදී ගැනීමට ද උපදෙස් දුන්නේය.

නියඟය පවතින ප්‍රදේශ හඳුනාගෙන එම ප්‍රදේශවල භූගෝලීය තත්ත්වයන් සොයා බැලීමටද මෙහිදී අදාළ අංශ වෙත උපදෙස් ලබා දුන් ජනාධිපතිවරයා පිරිසිදු පානීය ජලය ලබා ගැනීම සඳහා ජල මුලාශ්‍ර හඳුනා ගැනීමට සහ නල ළිං, ජල පොම්පාගාර අලුත්වැඩියා කිරීමේ කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට ද ජල සම්පාදන මණ්ඩලයට උපදෙස් දුන්නේය.

නියඟයෙන් පීඩාවට පත්වන ජනතාවට අවශ්‍ය ආහාර සපයාදීම වෙනුවෙන් ආධාර කිරීමට ලෝක ආහාර සංවිධානය දැනටමත් කැමැත්ත පළ කර තිබෙන අතර අවශ්‍ය වුවහොත් නියං ආධාර බෙදාදීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කිරීම පිළිබඳව ද සාකච්ඡා විය.

මෙහිදී මුදල් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ සහල් ආනයන කටයුතු ආරම්භ වීමත් සමඟ අද වන විට සහල් කිලෝ ග්‍රෑම් ඒකක මිල රුපියල් 10කින් පමණ අඩුකර ගැනීමට හැකියාව ලැබී තිබෙන බවයි.

ජල විදුලිබල ධාරිතාව මේ වන විට ක්‍රමයෙන් අඩුවෙමින් පවතින අතර ඊට විකල්ප වශයෙන් තාප විදුලි උත්පාදනය සහ සූර්ය බලශක්තිය ප්‍රචලිත කිරීම සඳහා නව වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කරන ලදී.

නියං තත්ත්වය සමඟ මතුවන අභියෝග සමනය කර ගැනීම සඳහා ජලය සහ විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කිරීම පිළිබඳ ජනතාවට පුළුල් දැනුමක් ලබාදීමේ අවශ්‍යතාව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ පිළිබඳ ජනමාධ්‍ය වෙත විශාල වගකීමක් පැවරී තිබෙන බවත්, ඒ සඳහා විශේෂ ප්‍රචාරක වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කමත් පෙන්වා දුන්නේය.

මතුවිය හැකි නියං තත්ත්වයට මුහුණදීම සඳහා දැනටමත් ගෙන ඇති පියවරයන් පිළිබඳ ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා විසින් මෙහිදී විස්තර කළ අතර අමාත්‍යවරුන් වන රවී කරුණානායක, සුසිල් ප්‍රේමජයන්ත, රංජිත් සියඹලාපිටිය, දුමින්ද දිසානායක , පී. හැරිසන්, නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන යන මහත්වරුන් ද අදාළ අමාත්‍යාංශ ලේකම්වරු සහ නිලධාරී මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

දිනමිණ පුවත්පත ඇසුරෙනි

More News »