ස්ටෙන්ට් නියෝජිතයන්ට රෝහල් බිම තහනම්

Jan 13, 2017 08.57am
feature-top
c කොළඹ ජාතික රෝහලේ භුමියට ඇතුළු වීම තහනම් කර ඇති බව රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. රෝගීන්ට අවශ්‍ය ස්ටෙන්ට් නොමිලේ රජයෙන් ලබාදීමත් සමඟ මේ තීරණය ගත් බවත් පසුගිය කාලයේ අවශ්‍ය ස්ටෙන්ට් පෞද්ගලික අංශයේ අදාළ නියෝජිතයින්ගෙන් මිලදී ගැනීම සිදු කළ නිසා ඔවුන් රෝහල් භූමිය තුළ ගැවසුණු බවත් ඒ මහතා පැවැසුවේය.

රෝගීන්ට අවශ්‍ය ස්ටෙන්ට් සම්බන්ධයෙන් සෞඛ්‍ය ඇමැතිවරයා දැනුවත්ව අවශ්‍ය සියලු ස්ටෙන්ට් සංඛ්‍යාව අඩුවකින් තොරව රෝහලට ලබාදීමට පියවර ගෙන ඇති බවත් එම නිසා පෞද්ගලික අංශයෙන් මිලදී ගැනීමට රෝගීන්ට අවශ්‍යතාවක් පැන නොනඟින බවත් ඔහු ප්‍රකාශ කළේය.

කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකය ඉදිරිපිට ස්ටෙන්ට් අලෙවි කරන සමාගම්වල නියෝජිතයින් සිටින බවට සෞඛ්‍ය ඇමැතිවරයාට ලැබුණු තොරතුරකට අනුව වහාම ක්‍රියාත්මක වූ ඇමැතිවරයා ඒ පිළිබඳ විමර්ශනයක් සිදු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශන ඒකකයට දැනුම් දී තිබේ.

ස්ටෙන්ට් සහ අක්ෂි කාච ලබා ගැනීමට රජයේ රෝහල්වලට පැමිණෙන කිසිදු රෝගියකුගෙන් මුදල් අය කර ගැනීම තහනම් කරන චක්‍රලේඛයක් ද සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් නිකුත් කිරීමට නියමිතය.

හෘද රෝගීන්ට අවශ්‍ය ස්ටෙන්ට් නොමිලේ ලබා දී ඇති අතර ඒ සඳහා භාවිතා කරන වයර්ලස් හිඟයක් පවතින බවත් එම හිඟය අවම කිරීමට අවශ්‍ය වයර්ලස් කඩිනමින් මෙරටට ගෙන්වන ලෙස වෛද්‍ය සැපයීම් අංශයට උපදෙස් ලබා දී ඇති බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.



දිනමිණ පුවත්පත ඇසුරෙනි

More News »