හිරුණිකා රෝහලේ; සාක්‌ෂි විභාගය කල් යයි

Jan 11, 2017 09.02am
feature-top
තරුණයකු බලහත්කාරයෙන් පැහැරගෙන ගොස්‌ සාපරාධි බියගැන්වීම ඇතුළු අධිචෝදනා 29 ක්‌ යටතේ කොළඹ දිස්‌ත්‍රික්‌ එක්‌සත් ජාතික පක්‌ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු විත්තිකරුවන් නව දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුවේ සාක්‌ෂි විභාගය හිරුණිකා ප්‍රෙAමචන්ද්‍ර මහත්මිය අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා කල්තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා ඊයේ 10 නියෝග කළේය.

එම නඩුවේ සාක්‌ෂි විභාගය ඊයේ ආරම්භ කිරීමට දින නියම කොට තිබිණි.

ඊයේ නඩුව කැඳවූ අවස්‌ථාවේදී අධිකරණය ඇමැතූ විත්තියේ නීතිඥ අජිත් පතිරණ මහතා හදිසියේ ඇතිවූ යම්කිසි රෝග තත්ත්වයක්‌ නිසා එම නඩුවේ 9 වන විත්තිකාරිය වන හිරුණිකා ප්‍රෙAමචන්ද්‍ර මහත්මියව රෝහල් ගත කර ප්‍රතිකාර ලබාදෙන බව වෛද්‍ය වාර්තාවක්‌ ඉදිරිපත් කරමින් අධිකරණයට පෙන්වා දුන්නේය.

එම අවස්‌ථාවේදී එම වෛද්‍ය වාර්තාව ගෙන පරික්‌ෂා කළ පැමිණිල්ල මෙහෙයවන රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජනක බණ්‌ඩාර මහතා විත්තිකාරියට හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක්‌ පිළිබඳව කරුණු දැක්‌වීම නිසා නඩු විභාගය කල්දැමීමට විත්තිය කරන ඉල්ලීමට තමන් විරුද්ධ නොවන නමුත් එලෙස හදිසියේ අසනීප වීම මගින් නඩු විභාගය කල්යැම කෙරෙහි අවධානය යොමු කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව පැමිණ සිටි පැමිණිල්ලේ සාක්‌ෂිකරුවන් තාවකාලිකව මුදාහැර පෙනී නොසිටි පැමිණිල්ලේ දෙවන සාක්‌ෂිකාරියට නැවත සිතාසි යෑවීමට නියෝග කළ විනිසුරුවරයා නඩුවේ සාක්‌ෂි විභාගය ලබන අප්‍රේල් 26 සහ 27 දක්‌වා කල්තැබීමට නියෝග කළේය.
 

දිනමිණ පුවත්පත ඇසුරෙනි

More News »