රජයේ වාහන 40ක්‌ අවභාවිත කළැයි විමල් රිමාන්ඩ්
Jan 11, 2017 09.00am

රාජ්‍ය ඉංජිනේරු සංස්‌ථාව විසින් කුලී පදනම මත ලබාගත් වාහන 40 ක්‌ සිය ඥාතීන්ට පාක්‍ෂිකයන්ට හා නිල වාහන භාවිත කිරීමට අවසර නොමැති කාර්ය මණ්‌ඩලයේ භාවිතය සඳහා ලබාදී රජයට රුපියල් නවකෝටි දහසය ලක්‍ෂයකට අධික පාඩුවක්‌ සිදුකිරීමේ චෝදනාව යටතේ සැකපිට අත්අඩංගුවට ගත් ජාතික නිදහස්‌ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා හා රාජ්‍ය ඉංජිනේරු සංස්‌ථාවේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සමන්ත ලොකුහැන්නදි මහතා ලබන 24 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහෙස්‌ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ (10 දා) පස්‌වරුවේ නියෝග කළාය.

සැකකරුවන් වෙනුවෙන් විත්තියේ නීතිඥවරුන් කළ ඇප ඉල්ලීම් සම්බන්ධයෙන් සිය අධිකරණයේ තීන්දුව එදින නිකුත් කරන බව පෙන්වා දෙමින් මහෙස්‌ත්‍රාත්වරිය එම රක්‍ෂිත නියෝගය නිකුත් කළාය.

සැකකරුවන් දෙදෙනා ඊයේ පස්‌වරු 1.45 ට පමණ දැඩි රැකවල් මැද්දේ අධිකරණයට ඉදිරිපත් කළ අතර අවට පොලිස්‌ ස්‌ථානවලින් විශාල පොලිස්‌ නිලධාරීන් පිරිසක්‌ කැඳවා අධිකරණ භූමිය හා ඒ අවට දැඩි රැකවල් යෙදීමට පියවර ගෙන තිබිණි.

එම වාහන ජනසෙවණ නිවාස ව්‍යාපෘතිය සඳහා යොදවා සිටි ස්‌වෙච්ඡා නිලධාරීන්ගේ භාවිතය සඳහා ලබාදුන් බවට සැකකරුවන් ප්‍රකාශ ලබාදී ඇතත් ඒවා එම ස්‌වෙච්ඡා නිලධාරීන් නොව වෙනත් පුද්ගලයින් භාවිත කළ බවට ලබාගත් සාක්‍ෂි අනුව අනාවරණය වී ඇතැයි විමර්ශන නිලධාරීහු අධිකරණයට පෙන්වා දුන්හ.

එහිදී අධිකරණය ඇමැතූ සැකකාර විමල් වීරවංශ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතා පෙන්වා දුන්නේ සිය සේවාදායකයා එම වාහන උපයෝගී කරගනිමින් වසර ගණනාවක්‌ තිස්‌සේ පාඩුපිට පවත්වාගෙන ගිය රාජ්‍ය ඉංජිනේරු සංස්‌ථාවට විශාල ලාභයක්‌ උපයාදී ඇති බවයි.

ඒ පිළිබඳව කිසිවක්‌ කතා නොකරන විමර්ශන නිලධාරීන් සත්‍ය වසන් කරමින් අධිකරණයට කරුණු දක්‌වන බවත් එය හුදෙක්‌ දේශපාලන අවශ්‍යතාවක්‌ මත කළ අත්අඩංගුවට ගැනීමක්‌ බවත් ජනාධිපති නීතිඥවරයා එහිදී පැවසීය.

දෙවන සැකකාර සමන්ත ලොකුහැන්නදි මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ කරුණු දක්‌වමින් පෙන්වා දුන්නේ විමල් වීරවංශ මහතාට එරෙහිව ප්‍රකාශ ලබාදෙන්නේ නම් එම නඩුවේ රජයේ සාක්‍ෂිකරුවකු බවට පත්කර ගන්නා බවට විමර්ශන නිලධාරීන් සිය සේවාදායකයාට දැන්වූ බවට උපදෙස්‌ ලැබී ඇති බවයි. කෙසේ නමුත් විමර්ශන නිලධාරීහු විත්තියේ එම කරුණු දැක්‌වීම ප්‍රතික්‍ෂේප කළහ.

සැකකරුවන් අධිකරණ භූමියෙන් රැගෙන යැමෙන් අනතුරුව බන්ධනාගාර රථය පිටුපසින් ගමන් කළ කැරලි මර්දන ඒකකයේ නිලධාරීන්ට විමල් වීරවංශ මහතාගේ ආධාරකරුවන් විසින් "හූ" හඬ නඟමින් විරෝධතා දැක්‌වූහ.

(ලංකාදීප පුවත්පත ඇසුරෙනි)

Ads here
340 x 60
Rs. 10000/-