රාජ්‍ය ආයතනවලට සූර්ය බලශක්ති වැඩපිළිවෙළ අද ඇරැඹේ

Jan 09, 2017 09.22am
feature-top
වේගවත් සංවර්ධනයක් සඳහා වන ගමන් මග යථාර්ථයක් බවට පත් කරමින් ශ්‍රී ලංකාව හරිත බලශක්තියට පරිවර්තනය කිරීමේ ජාතික වැඩපිළිවෙළ අද (09) දින ආරම්භ කෙරේ.

මෙම ජාතික වැඩපිළිවෙළ යටතේ සියලු රාජ්‍ය ආයතන සූර්ය බලශක්තියට පරිවර්තනය කරන අතර එහි පළමුවැන්න මෙසේ අද පෙරවරු 8.00ට මුදල් අමාත්‍යාංශයෙන් ඇරැඹීමට නියමිතය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ තිරසාර සංවර්ධන වැඩපිළිවෙළ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ කඩිනම් ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය යටතේ රාජ්‍ය ආයතන සූර්ය බලශක්තියට පරිවර්තනය කිරීම දිවයින පුරා ප්‍රචලිත කෙරෙනු ඇත. බලශක්ති අර්බුදයට පිළිතුරක් ලෙස හරිත බලශක්තිය සම්බන්ධයෙන් මුළු ලෝකයේම අවධානය යොමුව ඇති මොහොතක 2017 අය-වැය මගින් ශ්‍රී ලංකාව ද ඊට සාර්ථක ප්‍රවේශයක් ලබාදී තිබේ.

අප රටේ විදුලිබල උත්පාදනය පවතින්නේ මෙගාවොට් 4000ක පමණ මට්ටමක ය. රට තුළ සිදු වන වේගවත් සංවර්ධනය හේතුවෙන් 2020 වන විට විදුලිය අවශ්‍යතාව මෙගාවොට් 5300ක් දක්වා ද, 2025 වනවිට එය මෙගාවොට් 7500 දක්වා ද ඉහළ යනු ඇතැයි අනුමාන කෙරේ.

රුපියල් 2000කට වැඩි මාසික විදුලිය බිල්පතක් ගෙවන පාරිභෝගික ජනතාවට සිය බලශක්ති ප්‍රභවය හරිත බලශක්ති ප්‍රභවයක් වෙත පරිවර්තනය කරගැනීම සඳහා රජය පහසුකම් සලසයි. මේ සඳහා රුපියල් 150,000ක් දක්වා වන ණය මුදලක් ලබාදීමට කටයුතු කෙරෙන අතර බැංකු පොලියෙන් 50%ක මුදලක් රජය විසින් දැරීමට අපේක්ෂා කෙරේ. මේ සඳහා 2017 අය-වැයෙන් වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 1500කි. ඉදිරි වසර දෙකක කාලය තුළ රජයේ සියලු ගොඩනැගිලි සූර්ය බලය වැනි හරිත බලශක්ති ප්‍රභවයන්ට පරිවර්තන කිරීම රජයේ අරමුණයි. ඒ සඳහා ආරම්භක පියවර ලෙස මෙවර අය-වැය මගින් රුපියල් මිලියන 350ක මුදලක් ඊට වෙන්කර ඇත.



දිනමිණ පුවත්පත ඇසුරෙනි

More News »