වීසා හා ගිවිසුම්ගත කාලය අවසන්ව විදෙස් රටවල රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් කඩිනමින් මෙරටට

May 02, 2020 09.48am
feature-top
රජයේ තීරණය ඇමැති බන්දුල දැනුම් දෙයි

වීසා බලපත්‍රය හෝ ගිවිසුම්ගත රැකියා කාලසීමාව අවසන්ව මෙරටට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සියලුදෙනා කඩිනමින් ගෙන්වා ගැනීමට රජය තීරණය කර තිබේ.ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කරමින් සිටින බව දිනේෂ් ගුණවර්ධන ඇමැතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට දැනුම් දුන් බව තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ සහ උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

විදේශගතව සිටින ශ්‍රමිකයන්හට කිසියම් ප්‍රශ්නයක් තිබෙනව නම් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ස්ථාපිත කර ඇති 1989 විශේෂිත දුරකථන අංකයෙන් එතෙර සිටින ශ්‍රමිකයන්ට පැය විසි හතරෙම දැනුම් දීමට පුළුවන් යැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුවේ ඊයේ (01) පැවැති මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා කීවේය.

මෙරට පුද්ගලයන් ලක්ෂ දාහතකට වැඩි පිරිසක් විදෙස් ශ්‍රමිකයන් ලෙස සේවය කරමින් සිටින බවත් කොරෝනා වෛරසය හේතුවෙන් ඔවුන්ගේ රැකියාවලට හා වැටුප් ගෙවීම් සම්බන්ධව ඇති වී තිබෙන ගැටුළු සම්බන්ධයෙන් විදෙස් දූත මණ්ඩල සමඟ අඛණ්ඩව සාකච්ඡාවල නිරතවෙමින් සිටින බවත් දිනේෂ් ගුණවර්ධන ඇමැතිවරයා දැනුම් දුන් බව හෙතෙස කියා සිටියේය.

ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළේය.

අද ලෝක කම්කරු දිනය. කම්කරු දිනය වෙනුවෙන් වෙනත් දිනවල පැවැත්වෙන මැයි දින රැස්වීම්, පෙළපාලි හා වෙනත් මහජන ඒකරශීවීම්, මැයි දින අනුස්මරණය වැඩසටහන් ආදි සියල්ල ශ්‍රී ලංකාවේ පමණක් නොව මුළු ලෝකයේම නතර වෙලා තිබෙනවා. නමුත් ජනාධිපතිවරයත්, අගමැතිවරයත්, ආණ්ඩුවත් වැඩකරන ජනතාව වෙත සුවිශේෂී අවධානයකින් වගකිව යුතු රජයක් ලෙස ක්‍රියාකරන්න පෙරේදා රැස් වූ කැබිනට් මණ්ඩලයේදී ක්‍රියා කලා. මීට අවුරුදු 90 කට පෙර 1930 දි දැවැන්ත ලෝක ආර්ථික අවපාතයක් ඇති වුණා. එම ලෝක අවපාතයේදී රැකියා කරමින් සිටී ජනතාව මෙන්ම කම්කරු ජනතාවට විශාල වශයෙන් රැකියා නැති අයගේ ගොඩට එකතු වෙලා විරැකියාවේ මහා අර්බුදයකට ලෝකය තල්ලු වුණා. ඉන් පසු දෙවැනි ලෝක සංග්‍රාමයෙන් පසු, යුද්ධය අවසන් වීමත් සමඟ රැකියා රැකගැනීම හා ජීවනෝපාය ආරක්ෂා කරගැනීමට ලෝකය පුරා ගැටුළුවක් වුණා.

එම තත්ත්වයන් දෙකටම වඩා විශාල අර්බුදයකට තමයි කොරෝනා වෛරසය හමුවේ ලෝකයේ වැඩකරන ජනතාව මුහුණ දෙන්න සිදුවෙලා තිබෙන්නේ. මේ වන විට ලෝක කම්කරු සංවිධානය කියන විදියට ලෝකයේ මහා බලවත් රටවල් ඇතුලු නිෂ්පාදන කේෂ්ත්‍රවල රැකියා කරමින් සිටි ජනයා ලක්ෂ දස ලක්ෂ වශයෙන් රැකියා අහිමි ගොඩට එකතු වෙලා තිබෙනවා. ඔවුන්ගේ ආදායම් මාර්ග නැතිවෙලා තිබෙනවා. ජීවත් වීමේ දුෂ්කර අරගලයකට හසුවෙලා තිබෙනවා. ඇමරිකාව ඇතුලු බටහිර ලෝකයේ බලගතු රටවල රැකියා අහිමිවීමේ ප්‍රතිශතය විශාල ලෙස ඉහළ ගොස් තිබෙනවා. ඒ ලෝක ප්‍රවණතාව අනුව ලංකාවේ අපිට ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳ සුවිශේෂී අවධානයක් යොමු කරන බවයි මේ කම්කරු දිනයේදී රජය කියා සිටියේය.

ඔබ සියලුදෙනා දන්නා පරිදි කොරෝනා වසංගතයෙන් ජනතාවගේ ජීවිත බෙරා ගැනීම සඳහා ජාතික ප්‍රමුඛතාවය ඇති වගකීම ලෙස කටයුතු කරන නිසා නිදහස් වෙළෙඳ කලාප වලවත් ඉන් පිටතත් වෙළෙඳ කලාප වසා දමා තිබෙනවා.නමුත් ඒ වසා දාමා තිබෙන කර්මාන්ත ශාල තුළ සේවකයන් ඉවත් කිරීම හා වැටුප් නොගෙවීම හෝ වැටුප් ගෙවීම් සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටුළු සම්බන්ධව කම්කරු නිපුණතා සංවර්ධන හා විදේශ සම්බන්ධතා ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නා.

අපේ රටේ වැඩ කරන ජනතාවට, යම් කිසි රැකියාවක් කරන පාර්ශවයකට තමන්ගේ රැකියාව, ජීවනෝපාය ගැන මතුවෙලා තිබෙන ගැටුළු පිළිබඳව කම්කරු දෙපාර්තුමේන්තුවේ විශේෂ වෙබ් පිටුවකට ගමන්කර තමන්ගේ දුක්ක දොම්මනස්සයන් කියන්න අවශ්‍ය විධිවිධාන සලස්වලා තිබෙනවා.

ඉදිරි කාලය තුළදි ඇතිවෙන සේවා වියුක්තිය සම්බන්ධ ගැටළු ආදායම් මාර්ග, වැටුප් හා අනෙකුත් ප්‍රශ්න ගැන නිරන්තරයේන දිනේෂ් ගුණවර්ධන ඇමැතිවරයාගේ උපදෙස් මත කම්කරු දෙපාර්තුමේන්තුව වැඩකරන ජනතාවගේ පැත්තේ හිටගෙන දෙන්න පුළුවන් සහන ලබාදෙන්න, මැදිහත් වෙන්න ක්‍රියාකරන බව දැනුම් දෙන්න කටයුතු කරමින් ඉන්නවා.

විදේශවල සේවා නියුක්ත ශ්‍රී ලාංකිකයන් පිළිබඳවත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජයේ අවධානය යොමු කෙරුවා. අපේ රටේ ලක්ෂ 17 ක්, මිලියන 1.7 ක් මැදපෙරදිග ඇතුලු අනෙකුත් රටවල සේවා නියුක්තව සිටිනවා. ඒවගේම එම රටවල පවතින තානාපති කාර්යාල. මහ කොමසාරිස්වරුන් හා විදේශ දූත මණ්ඩල මඟින් තමන්ගේ ගැටළු ඉදිරිපත් කර අවශ්‍ය පහසුකම් සපයාගන්න කටයුතු යොදා තිබෙනවා. ඒ වගේම එම ශ්‍රමිකයන්ගේ පවුල්වල අයට මුදල් නොලැබීමක් හෝ වෙනත් ප්‍රශ්නයක් ඇති වුණහොත් ළගම තිබෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වෙත ගොස් එහි සිටින විදේශ සේව නියුක්ති නිලධාරියා හමුවෙලා කරුණු ඉදිරිපත් කරන්න පුළුවන්.

උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »