පාර්ලිමේන්තුව කැඳවීමේ හා විසුරුවා හැරීමේ බලය තියෙන්නේ ජනපතිට විතරයි

Apr 25, 2020 09.19am
feature-top
තොත්ත බබාලත් ඒක දන්නවා

ඇමැති විමල් වීරවංශ

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය වගේම විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුව යළි කැඳවනවාද නැද්ද යන අනිවාර්ය බලය තිබෙන්නෙත් ජනාධිපතිවරයාට බව නීතියේ ‘අ’ යන්න ‘ආ’ යන්න දන්න ඕනෑම තොත්ත බබෙක් දන්වා යැයි කුඩා හා මාධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ව්‍යවසාය සංවර්ධන හා කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ ඇමැති විමල් වීරවංශ මහතා පැවසීය.

විසුරුවා ඇති පාර්ලිමේන්තුවක් නැවත කැඳවීමට හිටපු කතානායකවරයාට හෝ අධිකරණයට කිසිඳු බලයක් නැති බවත් එය ජනාධිපතිවරයා සතු විධායක වගකීමක් හෙයින් එම විධායක වගකීම ජනාධිපතිවරයා ඉටු කර ඇති බවත් හෙතෙම කීවේය. කුමන තත්ත්වයක් යටතේ වුවත් තිබුණු පරණ පාර්ලිමේන්තුව යළි නොකැඳවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැහැදිළිව ප්‍රකාශ කර ඇතැයිද ඇමැතිවරයා සඳහන් කළේය.

“කරු ජයසූරිය හිටපු කතානායකරවයා තමන්ගේ මුහුණු පොතේ සටහනක් දාල තියෙනවා කතානායකවරයා විදියට තනිව බලතල පාවිච්චි කරලා පාර්ලිමේන්තුව කැඳවන්න අදහසක් නැහැ. අධිකරණය දෙන තීන්දුවලට ගරු කරනවා කියලා. එහෙම කියන්න එයා කතානායක නෙවෙයි. විසුරුවට පස්සේ කතානායකවරයෙක් නැහැ කියලා නීතිපති ඉදිරිපත් කරලා තිබෙනවා. විසුරුවට පස්සේ විපක්ෂ නායකවරයෙක් නැහැ. පාර්ලිමේන්තුවක් නැහැ. කවදා හරි දවසක අලුත් පාර්ලිමේන්තුවයි නැවත රැස්වෙන්න ඕන. 19 වැනි සංශෝධනය නොතිබුණේ නම් ජනාධිපතිවරණය අවසන්ව සතියකින් අපි මහ මැතිවරණයකට යනවා. එහෙම වුණා නම් මේ රටේ ජනතා කැමැත්තට අනුව තේරුණු ජනාධිපතිවරයෙක්, පාර්ලිමේන්තුවක්, ආණ්ඩුවක් වගේම විපක්ෂයක් තියෙනවා.

“කොරෝනා වැනි වසංගත තත්ත්වයක් බලය හොබවන රාජ්‍ය පාලනයකට පමණක් සම්පූර්ණයෙන් මැඩපැවැත්වීම පහසු කාර්යයක් නෙවෙයි. ඊට රටවැසියාගේ දායකත්වය ඉහළින්ම වැදගත් වෙනවා. මෙය පැතිරෙන්නේ රට වැසියා අතර. රජයක් කරන්නේ එලෙස ව්‍යාප්ත වීම හැකිතාක් දුරට පාලනය කරන එකයි. කොරෝනා වෛරසය ඇතිවුණ දින සිට මේ වන තෙක් රජය නිසි වෙලාවට නිසි තීරණ අරන් තිබෙනවා. ඒ වගේම එම තීරණ ඵලදායී තීරණ බවට ප්‍රායෝගිකව පෙන්වලා තිබෙනවා. ඇතැම් පිරිසකගේ වගකීම් විරහිත හැසිරීම නිසයි මෙය පාලනය කරගන්න නොහැකි වී තිබෙන්නේ. එහෙම වුණාම තමයි අපේක්ෂිත ප්‍රතිඵලය වෙනුවට අනපේක්ෂිත ප්‍රතිඵලය ලැබෙන්නේ. එවැනි තත්ත්වයක් තිබිලත් අසල්වැසි ඉන්දියාවට සාපේක්ෂව, මේ කලාපයේ අනෙක් රටවල්වලට සාපේක්ෂව ශ්‍රී ලංකා රජය ප්‍රබල ක්‍රියාමාර්ග අරන් තිබෙනවා මෙය වළක්වා ගන්න. කොරෝනා වෛරසයට මූවා වී කල් ඉකුත් වී අභාවයට ගිය පරණ පාර්ලිමේන්තුවට යළි පණ දීමට ඇතැම් පිරිසක් උත්සාහ ගනිමින් සිටිනවා.

“විපක්ෂයේ අයගේ ආවේණික රෝගයක් ඡන්දවලට තිබෙන බිය. දැන් මේ අයගේ ආවේණික බිය වහගන්න හදනවා කොරෝනා බිය ඉදිරියට දාලා. මෙහි නිසි ආරක්ෂිත තත්ත්වයක් නැත්නම් ජනතාවට පීඩා වන තීන්දු තීරණ ජනාධිපතිතුමා හෝ අපේ ආණ්ඩුව ගන්නේ නැහැ. හැබැයි මේ රටේ ව්‍යස්ථාවට අනුව ඉටු කළ යුතු වගකීම් තිබෙනවා. පාර්ලිමේන්තුව විසුරුවා හරින වෙලාවේ ලංකාවෙන් කොරෝනා රෝගියකු හමුවෙලා තිබුණේ නැහැ. නාමයෝජනා බාර දුන්නට පස්සේ මැතිවරණ කොමිසමට බලය යනවා. ඒ අයට පුළුවන් රටේ තිබෙන තත්ත්වය සලකලා සාධාරණ තීරණයකට එන්න. එම තීරණවලට අතපොවන්න බලපෑම් කරන්න කිසිම විටෙක ජනාධිපතිවරයා හෝ අපේ ආණ්ඩුව කටයුතු කරලා නැහැ.තිබුණු පාර්ලිමේන්තුව රැස් කරන්න අධිකරණ නියෝග ගන්න තමයි අද සුමන්දිරම්ලා ඉන්නේ. ඒ අය හිතනවා ඒ අයට අභිමත ආකාරයට අධිකරණය හසුරුවගන්න පුළුවන් කියලා අතීතයේ සිදු කළ දේ නැවත කරන්න ඒ අයට ඉඩ ලැබෙන්නේ නැහැ.’’



උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »