අවශ්‍ය තරම් පොහොර තොග ලැබුණා

Apr 24, 2020 09.15am
feature-top
ඇමැති රමේෂ් පතිරණ

රටට අවශ්‍ය පොහොර තොග මේ වනවිට ලැබී තිබෙන අතර එය කොළඹ සිට සෙසු පළාත් සඳහා බෙදාහැරීම ආරම්භ කළ පසුව ඉදිරි දින කිහිපය තුළ පොහොර හිඟය අවසන් වන බව වැවිලි කර්මාන්ත හා අපනයන කෘෂිකර්ම ඇමැති රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කරයි.

මේ වනවිට කොළඹට පොහොර තොඟ ලැබී තිබෙන අතර කොළඹින් පොහොර තොඟ බෙදාහැරීමේ දී මේ දිනවල යම් යම් ගැටළු මතුව තිබෙන බව පෙන්වාදෙන ඒ මහතා පොහොර ලේකම් කාර්යාලය හා කෘෂිකර්ම අමාත්‍යාංශය මේ සඳහා යුද හමුදාවේ ද සහාය ඇතිව එම පොහොර අදාළ ප්‍රදේශවලට බෙදාහැරීමේ වැඩපිලිවෙලක් සකස්කර තිබෙන බවද ඒ අනුව දැනටමත් යූරියා ඇතුළුව මූලික පොහොර ඉදිරි දින කිහිපය ඇතුළත ශ්‍රී ලංකාවේ අනෙකුත් පළාත්වලට බෙදාහැරීමේ කටයුතු යථාවත් වනු ඇති බවද විශ්වාසය පළකරයි.

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීම වෙනුවෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ඊයේ (23) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අඳහස් දක්වමින් ඇමැතිවරයා පෙන්වා දුන්නේ මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණ පෙරදැරි කරගෙන රජයේ අවධානය යෙමුව තිබෙන අතර මේ වනවිට ගොවියන් මුහුණ දෙන පොහොර හිඟය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකර තිබෙන බවයි.

යම් මට්ටමකින් පොහොර හිඟයක් ඇතැම් ප්‍රදේශවල වාර්තා වන නමුත් 2019 වසරේ දී මෙරටට පොහොර ගෙන්වන සමාගම්වලට ගෙවිය යුතුව තිබුණු මූල්‍ය ප්‍රතිපාදන නොගෙවීම හේතුවෙන් ගැටළු මතුව තිබුණු බවද ඔවුන් ආනයන යම් මට්ටමකට සීමා වී තිබුණු නමුත් රජය විසින් විශේෂ ප්‍රතිපාදන ලබාගෙන එම ගෙවීම් ආරම්භ කර තිබීම හේතුවෙන් මේ වනවිට පොහොර තොඟ ශ්‍රී ලංකාවට ලැබී තිබෙන බවද ඒ මහතා පෙන්වා දුන්නේය. අද වනවිට සෞභාග්‍යා වැඩසටහන යටතේ බීජ සඳහා විශාල ඉල්ලුමක් තිබෙන නමුත් ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදීම ගැටළු තිබෙන බවද කෘෂිකර්මාන්ත අමාත්‍යාංශය මඟින් ලංකාවේ බීජ ගොවිපලවල් ශක්තිමත් කරමින් අවශ්‍ය බීජ මෙරට නිපදවා ගැනීමට හා අත්‍යවශ්‍ය බීජ ආනයනය කිරීමට තීරණය කර තිබෙන බවද ඉදිරි කාලය තුළ ලංකාවට අවශ්‍ය බීජ මෙරට නිපදවා මෙරට ගොවියන්ට සහ අවශ්‍ය අයට එම බීජ ලබාදීමට හැකිවනු ඇතැයි විශ්වාසය පළකළේය.



උපුටා ගැනීම ලක්බිම පුවත් පත ඇසුරෙනි

More News »