පාසල්-උසස් අධ්‍යාපන-සරසවි සිසුන්ට විශේෂ රූපවාහිනී නාලිකාවක් අද සිට ඇරැඹේ

Apr 20, 2020 09.08am
feature-top
හොඳම දේ දරුවන්ට දීමේ  ප්‍රතිපත්තියේ අපි සිටිනවා

ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන

ලක්ෂ 44ක් පමණ වූ පාසල් දරුවන් මෙන්ම විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපනය ලබන දරුවන් සඳහා වෙන් වූ විශේෂ රූපවාහිනී නාලිකාවක් අද (20) උදේ 8.00ට ආරම්භ කෙරෙන බව උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන, තොරතුරු හා ජනමධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (19) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති ප්‍රවෘත්ති සාක්ච්ඡාවට එක්වෙමින්ය.

එහිදී වැඩිදුරටත් ඇමැතිවරයා මෙසේ ද කීය.

දෙවැනි ලෝක මහා සංග්‍රාමයෙන් පසු ලොව ඇති වූ විශාලතම ව්‍යසනය ලෙස සැලකෙන කොරෝනා වෛරසයෙන් ශ්‍රී ලංකාව අදියරෙන් අදියර සාර්ථක ලෙස එය මැඬ පැවැත්වීමේ රටක් බවට මේ වනවිට වාර්තා වී තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සහ මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ රජය, හමුදාපති ප්‍රධාන ජනාධිපති කාර්ය සාධක බළකායත්, බැසිල් රාජපක්ෂ මහතා ප්‍රමුඛ සහනාධාර සහ බෙදා හැරීමේ කාර්ය සාධක බළකායත්, අනෙකුත් ගම් මට්ටමේ සහ බිම් මට්ටමේ සියලු රාජ්‍ය නිලධාරීනුත්, පුද්ගලික අංශයත් ජනතාවත් සාමූහිකව දරනු ලැබූ ප්‍රයත්නයක ප්‍රතිඵලයක් ලෙස තමයි අපිට මේ වසංගතයෙන් සාපේක්ෂව අනෙකුත් රටවල් තරම් අමිහිරි අත්දැකීම් විඳින්නට සිදු නොවුණේ. අපි දන්නවා මීට වඩා අඩුවෙන් පැවති ඩෙංගු උවදුර ගතහොත් 2017 වසරේ දී එයින් මරණ 440ක්, 2018 දී මරණ 58ක් සහ 2019 දී මරණ 90ක් වාර්තා වෙලා තිබෙනවා.

එය ලෝකයේම එවක පැවති වසංගත තත්ත්වයක් ද නොවෙයි. එසේ පසුගිය කාලයේ ඩෙංගු වසංගතයෙන් සිය ගණනක් මරණයට පත්වෙද්දී ලෝකයේම ව්‍යාප්ත වසංගයක් වන කොරෝනා වසංගතය මරණ 07ක් පමණක් වාර්තා කරමින් සාර්ථකව මැඬ පැවැත්වීමට අපට හැකියාව ලැබී තිබෙනවා. ලෝකයේ මහා ධනය, බලය, මූල්‍ය බලය හා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉහළ රටවල් ලෙස සැලකෙන අමෙරිකා එක්සත් ජනපදය, ජර්මනිය, ප්‍රංශය වැනි රටවල් සමඟ සාපේක්ෂව සැසඳීමේ දී කොරෝනා වෛරසය මැඬලීම සම්බන්ධයෙන් 09වැනි ස්ථානයේ පසුවන තැනට දූර දර්ශී ලෙස තීන්දු තීරණ ගත් රාජ්‍ය නායකයා වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා අන්තර්ජාතික ඇගයීමට ලක්වෙලා තිබෙනවා. ජනතාව වශයෙන් රජයේ මූලික අරමුණ වෙලා තිබුණේ හැම පුරවැසියකුටම ගෞරවාන්විත මරණයක් වාර්තා විය යුතු බවත් රජයක් වශයෙන් ඒ ජීවිත ආරක්ෂා කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බවත්ය.

හොංකොං, ශ්‍රී ලංකාව, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, ජපානය, තායිවානය ආදී රටවල් සමඟ ලොව 09වැනි ස්ථානයේ අපි සිටින්නේ. ඒ හැම රටක්ම අපේ රටට වඩා තාක්ෂණික, ආර්ථික වශයෙන් දියුණු රටවල්. ඒ නිසා රටක් වශයෙන් ආඩම්බර වෙන්නට පුළුවන්. කොරෝනා වසංගතය මැඬලීමට දායක වුණු සියලු සත්පුරුෂයන්ට රජයේ ගෞරවය ජනතාවට පුද කරනවා.

හැමදාම වහගෙන ඉන්න බැරි නිසා හෙට දිනයේ පටන් අලුත් ක්‍රමයක් යෝජනා කරලා තියනවා රට ගොඩ නැඟීමට. දරුවන් අපි ප්‍රධානකොට සලකනවා. හොඳම දේ දරුවන්ට ලබාදීමේ ප්‍රතිපත්තියේ අපි සිටිනවා. පාසල් දරුවන් ලක්ෂ 44ක් සහ විශ්වවිද්‍යාල, උසස් අධ්‍යාපන දරුවන් වෙනුවෙන් වෙනම නාලිකාවක් වෙන් කර දීමට ජනමාධ්‍ය ඇමැතිවරයා වශයෙන් හැකිවීම පිළිබඳ සතුටට පත්වෙනවා. හෙට උදෑසන 08.00 සිට එම විකාශනය ආරම්භ වෙනවා.

ඊයේ ගැසට් පත්‍රයක් නිකුත් කරලා තිබුණා. රුපියලේ අගය අඩු වුණොත් එහි බර, පීඩනය, හැම කෙනාටම දරන්න වෙනවා. ඩොලරය රුපියලට සාපේක්ෂව වැඩි වනවිට එය අඩු කරගන්න කටයුතු කරන්න අවශ්‍යයි. ඒ කියන්නේ විදේශ විනිමය රැගෙන ඒම වැඩි කරන්නට අවශ්‍ය වෙනවා. රජය මේ සම්බන්ධ විවිධ ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. ආනයන අපනයන පාලන පනත යටතේ ගැසට් නිවේදනයක් නිකුත් කරලා තිබෙනවා. මෙහි ප්‍රධාන අරමුණ තමයි රට තුළ තිබෙන විදේශ විනිමය ඉතිරි කර ගැනීම, වැඩි පුර ගෙන්වා ගැනීම. ඒ නිසා සමහර අත්‍යවශ්‍යම දේවල් හැරෙන්නට සුඛෝපභෝගී භාණ්ඩ ආනයනය මාස 03කට තහනම් කොට තිබෙනවා. දේශීය එළවළු, පලතුරු ඇතුළු දේශීය නිෂ්පාදන ගෙන්වීම නවත්වලා. නිෂ්පාදන කාර්යයන්ට අවශ්‍ය යන්ත්‍ර සහ තාක්ෂණික දේවල් ආනයනය තහනම් කර නැහැ. ඊට හේතුව තමයි නිෂ්පාදනය වේගවත් කිරීම. කිසියම් පාර්ශ්වයකට එයින් අසාධාරණයක් වෙලා තිබෙනවා නම් විශේෂයෙන්ම ව්‍යාපාරිකයන්ට සහ නිෂ්පාදකයන්ට අත්‍යවශ්‍ය දේ ගෙන ඒමට අවශ්‍ය නම් මුදල් අමාත්‍යාංශ ලේකම්ට ලිපියක් මඟින් එය දැනුම් දිය හැකියි. යනුවෙන් ද පැවැසීය.

මේ අවස්ථාව සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය රංජිත් බණ්ඩාර, දේශීය පුද්ගලික අංශයේ ප්‍රධාන ව්‍යාවසායකයකු වන රයිගම් සමූහ ව්‍යාපාරයේ අධිපති ආචාර්ය රවී ලියනගේ, මහජන බැංකුවේ සභාපතිවරයා, ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් නාලක කළුවැව මහත්වරු ඇතුළු පිරිසක් ද එක් වූහ.

උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »