කොන්ත්‍රාත් හිඟ මුදල් නොගෙවීම ගැන විපක්ෂ නායක වගකිව යුතුයි

Feb 24, 2020 09.28am
feature-top
කොන්ත්‍රාත්කරුවන්ට හිඟබිල්පත් ගෙවීමට නොහැකි වීමේ වගකීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බාරගත යුතු බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

එමෙන්ම මීට ඇති එකම විකල්පය කතානායකවරයා පාර්ලිමේන්තුව නැවත කැඳවා යෝජනා සම්මත කිරීම බවද හෙතෙම පෙන්වා දෙයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ ඉකුත් (22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින්ය. එහිදි වැඩිදුරටත් කතා කළ ඇමැතිවරයා මෙසේද කීය.  යහපාලන රජය සමයේ සිදු කළ සංවර්ධන ව්‍යාපෘතිවල කොන්ත්‍රාත්කරුවන් සඳහා ලැබිය යුතු මුදල් එම කාලයේ දී නොලැබීම හේතුවෙන් ඔවුන් දැඩි මූල්‍ය අර්බුදයකට පත්ව සිටින බවත් ඔවුන්ගේ එම හිඟ මුදල් ගෙවීම සඳහා වර්තමාන රජය පසුගිය 20වැනිදා අතුරු සම්මත ගිණුමට ඉදිරිපත් කළ යෝජනා විපක්ෂය පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට අවස්ථාව ලබා නොදීම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී තිබෙනවා.

රජයේ මූල්‍ය ප්‍රතිපාදන සපයා ගැනීමේ දී භාණ්ඩාගාර බිල්පත් නිකුත් කර ණය ලබා ගැනීම අත්‍යවශ්‍ය වන අතර එය රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ මූලික සිද්ධාන්තයයි.

එසේ වූවත් රාජ්‍ය මූල්‍ය කළමනාකරණය පිළිබඳ නිසි දැනුමක් නොමැතිව ණය සීමාව ඉහළ දැමීමට විරුද්ධ වන බව පවසමින් විපක්ෂය වගකීම් විරහිතව කටයුතු කිරීමේ සම්පූර්ණ වගකීම විපක්ෂ නායකවරයා භාරගත යුතුයි.

රාජ්‍ය ආදයම, වියදම්, ආදායම හා වියදම අතර හිගය යනාදී වශයෙන් වූ රාජ්‍ය මූල්‍යය කළමානාකරණයේ ප්‍රධාන කරුණු පිළිබඳ නිසි අවබෝධයක් නොමැතිව විපක්ෂනායකවරයෙක් මෙසේ ක්‍රියාකරන ප්‍රථම අවස්ථාව ලෙස තමන් නිරීක්ෂණය කරනවා.

පසුගිය අය-වැය පිළිබඳ ශ්‍රී ලංකා මහබැංකු වාර්තාව පිළිබඳ කරුණු ඉදිරිපත් කළ අමාත්‍යවරයා 2019 වර්ෂයේ රජය ඇස්තමේන්තු කළ මුළු මුදල රුපියල් බිලියන 2380ක් වන අතර වියදම රුපියල් බිලියන 4550ක් වේ. මෙහි ආදායම හා වියදම අතර වෙනස පියවීමට ණය ලබාගැනීම හැර වෙනත් විකල්පයක් නොමැත. මීට පෙර ණය ලබා නොගත් කිසිදු ආණ්ඩුවක් නොතිබුණු අතර, ආණ්ඩුව රජයේ මුල්‍ය කළමනාකරණය සඳහා ජනතාව පාර්ලිමේන්තුව පත් කර ගන්නා අතර එහිදී රටේ ගනුදෙනුව පිළිබඳ ජනතාවට වගකීම පාර්ලිමේන්තුවේ කාර්ය වෙනවා. එවැනි වගකීමකින් තුළින් කොන්ත්‍රාත්කරුවන්ගේ ගැටලුව විසඳීමට කටයුතු කරන්නේ නැත්නම් ඔවුන් දැඩි ගැටලුවකට මුහුණපෑමට සිදුවෙනවා.

එම කොන්ත්‍රාත්කරුවන්ට සිංහල අලුත් අවුරුද්ද පෙර හිග මුදල් ගෙවීමට නම් කතානායකවරයාගේ බලතල අනුව පාර්ලිමේන්තුව නැවත කැඳවා අතුරු සම්මත ගිණුමේ යෝජනා සම්මත කර ගත යුතුයි.

රාජ්‍ය මූල්‍ය පිළිබඳ සම්පූර්ණ බලය පාර්ලිමේන්තුව සතු වන අතර ණය ගත හැකි උපරීම සීමාවන් පාර්ලිමේන්තුවේ අනුමත කර තිබෙන අතර ණය ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය අනිර්වාර්යෙන් අවශ්‍ය වෙනවා.

එසේම මැතිවරණයක් ප්‍රකාශයට පත් කළ විට රජයේ කටයුතු කරගෙන යාම වෙනුවෙන් මාස 3ක් සඳහා ජනාධිපතිවරයාට මුදල් වෙන් කර ගැනීමට හැකි වන බැවින් අතුරු සම්මත ගිණුමේ කාලය අවසන් වූවද මැතිවරණ කාලයේ ජනාධිපතිවරයාට පැවරෙන බලතල අනුව නව අයවැයක් ඉදිරිපත් වන තෙක් රාජ්‍ය මූල්‍ය කටයුතු පවත්වාගෙන යාම සඳහා බලතල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ම හිමිවී තිබෙනවා.

පාර්ලිමේන්තුව රැස් වී මෙම කොන්ත්‍රාත්කරුවන්ගේ මුදල් ගෙවීම සඳහා එම යෝජනා සම්මත කර නොදුන්න ද මැතිවරණයෙන් පසු මසක් ඇතුළත එම හිඟ මුදල් ගෙවීමට කටයුතු කරනවා.

උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »