‘ගමට ගෙයක් - රටට හෙටක්‘ නිවාස ව්‍යාපෘතිය අද ඇරැඹේ

Feb 01, 2020 09.01am
feature-top
මෙරට අඩු අදායම්ලාභී පවුල්වල නිවාස ගැටලුවට ස්ථිරසාර විසඳුමක් ලබා දීමේ අරමුණෙන් ක්‍රියාවට නංවන ‘ගමට ගෙයක් - රටට හෙටක්‘ ජාතික නිවාස වැඩපිළිවෙළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (01) කුරුණෑගල, ගිරිබාව, වරාවැව දී ඇරැඹේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මාර්ගෝපදේශකත්වය මත මේ ජාතික වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවෙන අතර, සෑම ග්‍රාම නිලධාරී වසමක්ම නියෝජනය වන පරිදි තෝරා ගනු ලබන අඩු ආදායම්ලාභී පවුලක් සඳහා එක් නිවසක් බැගින් ඉදිකිරීම මේ ව්‍යාපෘතියේ පළමු අදියර මඟින් සිදු කෙරෙයි.

මේ නිවාස දින 60ක් තුළ අවසන් කර අදාළ නිවෙස් හිමියාට පදිංචිවීම සඳහා අවස්ථාව ලබා දීම විශේෂත්වයකි. ඒ අනුව දින 60කින් ග්‍රාම නිලධාරි වසම් 14,022ක් තුළ නිවාස 14,022ක් ඉදිකිරීම මේ ජාතික වැඩසටහන මඟින් සිදු කෙරේ.

මේ වැඩසටහන සඳහා දේශපාලන හෝ වෙනත් හේතූන් මත නිවාසලාභීන් තෝරා ගැනීමක් සිදු නොකරන අතර, ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් සැබෑ අවශ්‍යතාවට ප්‍රමුඛතාව දෙමින් තෝරා ගැනීම් සිදු කෙරේ.

ප්‍රාදේශීය දේශපාලන නියෝජතයන්, ග්‍රාම නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන්, නිෂ්පාදන සහකාර, පවුල් සෞඛ්‍ය නිලධාරීන් සහ ග්‍රාමීය ජනතාව නියෝජනය වන පරිදි පත් කරන ප්‍රජා කමිටුවක් මඟින් අදාළ ග්‍රාම නිලධාරී වසමේ සැබෑම නිවාසලාභියා තෝරා ගැනීම සිදුවෙයි.

මේ කමිටුවට පූජ්‍ය පක්ෂය ඇතුළු ආගමික නායකයන් ද ප්‍රජා කටයුතු සඳහා දායක වන පිරිස් මෙන්ම විශ්‍රාමික සේවකයන් හා කාන්තා නියෝජනය ද ලබා ගැනීමට අපේක්ෂිතය.

ස්ථීර පදිංචිය ඇති මුත් ස්ථීර නිවසක් නොමැති අඩු ආදායම්ලාභී පවුලක්වීම, කාන්තා මූලික පවුලක්වීම, ආබාධ සහිත පුද්ගලයන් සිටීම, දිගුකාලීන නිදන්ගත රෝගවලින් පෙළෙන පුද්ගලයන්ගෙන් සමන්විතවීම, නිවසක් තනා ගැනීමේ අභියෝගයට මුහුණ පා සිටින පවුලක්වීම, යැපෙන්නන් වැඩි ප්‍රමාණයක් සිටින, පාසල් යන දරුවන් වැඩි පිරිසක් සිටීම, පාරම්පරික දේපළක් හෝ වත්කම් හෝ භාරයන් සඳහා හිමිකම් නොතිබීම යන නිර්නායක යටතේ නිවාස ප්‍රතිලාභීන් තෝරා ගැනෙයි.

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් මේ වැඩසටහනේ ප්‍රගතිය සමාලෝචනය කරන අතර, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ දිස්ත්‍රික් කළමනාකරුවන් විසින් ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ දී, දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ දී සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ දී වැඩසටහනේ ප්‍රගතිය සමාලෝචනය කළ යුතු වේ.

ජාතික මට්ටමින් නිවාස වැඩපිළිවෙළේ ප්‍රගතිය සම්බන්ධයෙන් වාර්තා කිරීමට නියමිත අතර, සියලු නිලධාරීන්ගේ සහායෙන් වැඩසටහන සාර්ථක කර ගැනීමේ වගකීම ජාතික නිවාස සංවර්ධන අධිකාරියට පැවරී තිබේ.

උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »