ජාතික ආරක්ෂාවට බාධා කරන බොරු කටකතා 5000කට වැඩියි

Oct 17, 2019 09.46am
feature-top
මට්ටක්කුලි සිද්ධියත් අසත්‍යක්
කිලිනොච්චි ක්ලේමෝ බෝම්බ දෙක වසර10ක් පරණයි

පසුගිය පාස්කු ප්‍රහාරයෙන් පසු ජාතික ආරක්ෂාවට බාධා කරමින් මහජනතාව බියට පත් කරන සහ නොසන්සුන්තාවට පත් කරවන ආකාරයේ විවිධ කටකතා පන්දහසකට වැඩි ප්‍රමාණයක් විවිධ කණ්ඩායම් මගින් ප්‍රචාරය කරන බව පවසන පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා ඊයේ දින කොළඹ ස්ථාන දෙකක සහ ගම්පහ ප්‍රදේශයේ බෝම්බ ඇති බවට කෙරුණ ප්‍රචාරය සම්පුර්ණ අසත්‍ය තොරතුරු මත පදනම් වූ කටකතා බවද පවසයි. මේ අතර ඊයේ කොළඹ ප්‍රසිද්ධ පිරිමි පාසලක බෝම්බ පිපිරීමක් සිදු වි ඇති බවටත් කරන ලද ප්‍රචාරයට අනුව විවිධ මාධ්‍ය වලින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන්ද ඒ ගැන විමසා තිබුණි.

ඊට අමතරව උතුරේ කිලිනොච්චි ප්‍ර දේ ශයේදී වත්තක වළ දමා තිබි සොයා ගන්නා ලද ක්ලේමෝ වර්ගයේ බෝම්බ දෙකද මිට වසර දහයකට පමණ පෙර යුද්ධය පැවැති කාලයේදී වළ දමා තිබු පරණ බෝම්බ ලෙස හදුනාගෙන ඇති බවද පවසයි.

එම සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගන්නා ලද සැකකරු එම කාලයේදි කොටි සාමාජිකයකුව සිට ඇති අතර ඔවුන් එම කාලයේදී එසේ වළ දමා තිබු ඒවා ලෙස මේ වන විට ඔහුගේ කට උත්තර වලින්ද හෙළිදරව් කර ඇත.

තවද 2010 වසරේදී මොරටුව රාවතාවත්ත ප්‍ර දේශයේ හිටපු හමුදා සාමාජිකයකු විසින් වළ දමන ලද අත් බෝම්බ තුනක් සොයා ගනු ලැබුවේ මිට දින කිහිපයකට පෙරය. එම අත් බෝම්බවලින් එකක් නිශක්‍රීය කිරීමටද නොහැකි තරම් පස් යට තිබී පරණ වි තිබු ඒවා වු බව පවසන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ සම්බන්ධයෙන් මොරටුව රාවතාවත්තේ බෝම්බ පිපිරීමක් සිදුවි ඇති බවට කටකතාවක් පැතිරී ගොස් තිබු බවද පවසයි.

කිලිනොච්චි ප්‍ර දේශයේදී වළදමා තිබි සොයා ගන්නා ලද බෝම්බ සම්බන්ධයෙන් ද විවිධ කටකතා පතුරවමින් ජාතික ආරක්ෂාවට බාධාවන ආකාරයේ තර්ජන ඇති බව ට ව්‍යාජ තොරතුරු පතුරවන බවත් පවසන මාධ්‍ය ප්‍රකාශක වරයා සහ යුද්ධ හමුදාව කියා සිටින්නේ උතුරේ ජාතික ආරක්ෂාවට බාධාවන ආකාරයේ කිසිදු දෙයක් මේ වන විට සිදුවෙමින් පවතින්නේ නැති බවත් ආරක්ෂක බුද්ධි තොරතුරුවලින් ජාතික ආරක්ෂාව තහවුරු වි ඇති බවත්ය.

එහෙත් මේ අවස්ථාවේදී රජය අපහසුතාවයට පත්කරවන ආකාරයේ විවිධ සිද්ධීන් සිදු කිරීමට සැළසුම් තිබිය හැකි බැවින් බුද්ධි අංශ සිය මෙහෙයුම් වැඩි කර ඇති බවත් පවසයි.

ඊයේ පෙරවරුවේ මට්ටක්කුලිය ප්‍රදේශයේ වාහනයක බෝම්බයක් ඇති බවට පැතුරුන කටකතාවලට හේතු වි ඇත්තේ කැඩුණු වාහනයක් මහමග දමා ගොස් තිබීමේ සිද්ධියක් පදනම් කරගෙන වෙයි. මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටින්නේ ඉදිරියේදී යම් ස්ථානයක හිමිකරුවකු නොමැති වාහනයක් දමා ගොස් තිබි හසු වුවහොත් විශේෂ කාර්ය බළකාය ගෙන්වා එම වාහනය කෑලි වලට වෙන් කර පරීක්ෂාවට ලක් කරන බවත් ඉන් අනතුරුව වාහනයට සිදුවන අලාභය හිමි කරු විසින් දරාගත යුතු බවත්ය.

මිට අමතරව කටකතා පතුරුවමින් මහජනතාව කලබලයට පත් කරවන ජාතික ආරක්ෂාවට බාධා වන ආකාරයේ විවිධ අසත්‍ය තොරතුරු පතුරවන පිරිස් සම්බන්ධයෙන් නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නිතිඥ රුවන් ගුණසේකර මහතා පවසයි.



උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »