සිවිල් සංවිධාන වෘත්තිය සමිති එකමුතුවේ සහාය සජිත්ට

Oct 10, 2019 10.56am
feature-top
ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සුරකින අලුත් ශ්‍රී ලංකාවක් බිහි කිරීමේ අරමුණින් 2015 වසරේදී ඇරඹුණු යහපාලන වැඩ පිළිවෙළ ඉදිරියට ගෙන යාම සඳහා මෙවර ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ඇමැති සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය දක්වන බව සිවිල් සමාජ සහ වෘත්තිය සමිති එකමුතුව එක්සත් ජාතික පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේදී පැවසූහ.

ඔවුන් එසේ ප්‍රකාශ කළේ ඊයේ(09) කොළඹ නව නගර ශාලාවේ පැවැති සමුළුවට සහභාගි වෙමිනි. මෙය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඇමැති සජිත් ප්‍රේමදාස මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්විණ. මෙහිදී සිවිල් සමාජ ක්‍රියාකාරීන් විසින් අලුත් ශ්‍රී ලංකාවක් ගොඩ නැගීම සඳහා වූ සිවිල් සමාජ ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ යෝජනා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට සහ ඇමැති සජිත් ප්‍රේමදාස මහතාට පිළිගන්වන ලදී.

රයිට් ටු ලයිෆ් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ පිලිප් දිසානායක, මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර, අතුරුදහන් වූවන්ගේ පවුල් සංවිධානයේ කැඳවුම්කරු බ්‍රිටෝ ප්‍රනාන්දු, නව සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමභාහු කරුණාරත්න, ජාතික වෘත්තිය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය, ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දඹර අමිල හිමි ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාව සඳහා සහභාගි වූ අතර ඔවුන් සියලු දෙනාම මේ අවස්ථාවේ ප්‍රකාශ කළේ, ඇමැති සජිත් ප්‍රේමදාස මහතාට ඉදිරි ජනාධිපතිවරණයේදී ජයග්‍රහණය කිරීම සඳහා තම උපරිම ශක්තිය යොදා ක්‍රියා කරන බවයි.

මෙහිදී සමුළුව අමතමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ජීවිත අයිතිය සහ නිදහස ආරක්ෂා කරන සමාජය ඉදිරියටත් සුරක්ෂිත කිරීම සඳහා ඇමැති සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ධූරයට පත් කළ යුතු බවයි. 2015දී රාජපක්ෂ පාලනය පෙරළා දැමීමට සිවිල් සමාජ කළ මෙහෙවර අති විශාල යයිද ප්‍රකාශ කළ අගමැතිවරයා තුනෙක් දෙකක බහුතරයක් තිබෙන ආණ්ඩුවකට වඩා වත්මන් ආණ්ඩුව ජනතා අයිතිවාසිකම් ආරක්ෂා කරමින් රට තුළ විශාල සංවර්ධනයක් සිදු කළ බවද මේ වන විට සිදු කරමින් පවතින බවද පැවසීය. ඉදිරි වසර පහ තුළ එම තත්ත්වය තව තවත් දියුණු කළ යුතු බවත් අලුත් ව්‍යවයස්ථාවක් සම්මත කර ගැනීමට කටයුතු කරමින් පොදු ජන යහපත සඳහා නව නීති ගෙන ඒමට කටයුතු කළ යුතු යයිද කීය. රට නැවත රාජපක්ෂ යුගයකට යාමට අවශ්‍ය නොමැති බවද මෙහිදී ප්‍රකාශ කළ අගමැතිවරයා ඉදිරි ජනාධිපතිවරණයේදී ඇමැති සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණයෙන් පසු පාර්ලිමේන්තුවේ බහුතරය ලබා ගනිමින් රට පෙරට ගෙන යන බවද පැවසීය.

ඇමැති සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී ප්‍රකාශ කළේ, එළඹෙන ජනාධිපතිවරණයේදී මෙරට ජනතාවට වැදගත් තීන්දුවක් ගැනීමේ අවස්ථාව උදාවන බවයි. දිනා ගත් නිදහස රැක ගනිමින් ප්‍රජාතන්ත්‍රවාදය තව දුරටත් ශක්තිමත් කරනවාද යන්න පිළිබඳව ජනතාව සිතිය යුතු බවත් ඇමැතිවරයා කීය. ජනතාව එම තීන්දුව ගැනීමේදී ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග අමතක නොකරන ලෙසද ඇමැතිවරයා මෙහිදී ඉල්ලා සිටියේය.

තව දුරටත් මෙහිදී අදහස් දක්වමින් ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේ, අතුරුදහන් වූ මාධ්‍යවේදියෙකු වන එක්නැලිගොඩ මහතා පිළිබඳව සොයා බලන ලෙස ඉල්ලීම් පසෙකලා ඇතැම් මාධ්‍යයන් තම සහෝදර මාධ්‍යවේදීන්ට විවිධාකාරයෙන් බලපෑම් එල්ල කළ පුද්ගලයින් පිළිබඳව කතාබහ කිරීම ගැටලුවක් බවයි. වත්මන් රජය යටතේ මාධ්‍යවේදීන්ට ජනාධිපතිවරයා, අගමැතිවරයා, කැබිනට් මණ්ඩය විවේචනය කළ හැකි යයිද ඒත් කිසිදු ගැටලුවක් ඇති නොවන බවද මෙහිදී ඇමැතිවරයා කීය. ඇමැති මනෝ ගනේෂන් මහතා මේ අවස්ථාවට සහභාගි වෙමින් සඳහන් කළේ, වත්මන් ආණ්ඩුව සම්බන්ධයෙන් නොයෙකුත් විවේචන පැවැතියත් ජනතාව වෙනුවෙන් අති විශාල සේවාවක් ආණ්ඩුව සිදුකර ඇති බවයි. නව ව්‍යවස්ථා ක්‍රියා වලිය ඉදිරියට ගෙන යා යුතු බවත් රටේ ජීවත් වන දමිළ ජනතාව අතර වත්මන් රජය පිළිබඳව වැරදි වැටහිමක් ඇති කරවීම සඳහා විපක්ෂය කටයුතු කරමින් සිටින බවටද ඇමැතිවරයා චෝදනා කළේය.

උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »