වත්මන් ආණ්ඩුව අවස්ථා දෙකක දී විශ්‍රාම වැටුප් 40%කින් වැඩි කළා

Oct 09, 2019 10.30am
feature-top
වත්මන් ආණ්ඩුව අවස්ථා දෙකක දී රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප් සියයට 40කින් වැඩි කිරීමට කටයුතු කළ බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවුසුවේ ඊයේ (8) නෙළුම් පොකුණ රඟහලේ පැවති 2019 විශ්‍රාම දින සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමිනි. විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ දත්ත අනුව 2019 අගෝස්තු මස වනවිට ලංකාවේ සිටින සමස්ත විශ්‍රාමිකයන්ගේ සංඛ්‍යාව 631054 ක් වන අතර විශ්‍රාමික හමුදා නිලධාරීන් සංඛ්‍යාව 97268කි. මෙම සියළු විශ්‍රාමිකයන් සඳහා ආණ්ඩුව පසුගිය අගෝස්තු මාසයේ පමණක් ගෙවන ලද පාරිතෝෂිත වල වටිනාකම රුපියල් 16 915 208 936කි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැති රනිල් වික්‍රමසංහ මහතා මෙසේ ද පැවසිය.

දෙවතාවක් විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කරන්න අවස්ථාව ලැබුණා. රජයේ සේවකයන්ගේ පඩි වැඩිකරන්න සිදු වුණා .ඒ අවස්ථාවේ විශ්‍රමිකයන් 650000කගේ විශ්‍රාම වැටුප් ප්‍රශ්නය ආවා. අපි දෙවතාවක් ඒ වැඩ කටයුත්ත කළා. 2015, 2019 අයවැය යෝජනා වලින් සියයට 80කට වැඩි විශ්‍රාමිකයන් පිරිසකගේ වැටුප් විශමතා ඉවත් කළා.මෙම වසර පහ තුළ විශ්‍රාමිකයන්ගේ වැටුප් සියයට 40කින් වැඩිකරදී තිබෙනවා.

අපි වැටුප් විෂමතා ඉවත් කෙළේ සාමාන්‍ය කාලයකදී නොවෙයි. අපි මෙය කෙළේ රටේ ආර්ථිකය විශාල ණය බරක තිබූ අවස්ථාවේ. ණය ගන්න ලංකා ආණ්ඩුව කෙරෙහි විදේශ රටවල් විශ්වාසය නොතිබූ අවස්ථාවකයි. ඒ කාලය තුළදී ණය ප්‍රශ්න අවසන් කළා පමණක් නොවෙයි අයවැයේ ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් ඇති කළා. එය කරන ගමන් අපි විශ්‍රාම වැටුප් විෂමතා විසඳා තිබෙනවා. ජීවන වියදම වැඩිවෙන විට ඔබේ පඩියත් වැඩි වෙනවා. ඒත් ඒ වගේම අපි පියවර ගෙන තිබෙනවා. සමහර අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල අඩුකරන්න. අද ඉන්දන මිල අපි පසුගිය වසර පහ තුළ වැඩිවීමට ඉඩනොදී අඩු මිලට ජනතාවට ලබා දී තිබෙනවා. සමහර අත්‍යාවශ්‍ය භාණ්ඩ වසර පහකින් මිල වැඩිවී නෑ නමුත් සමහර අවස්ථාවලදී මිල අඩුවී තිබෙනවා. එයින් අපි බලාපොරොත්තු වන්නේ ආණ්ඩුව ලෙස ජනතාවට උපකාර කිරීමයි.

රාජ්‍ය පරිපාලන අැමැතිවරයා සමඟ මා සාකච්ඡා කළා මෙම විශ්‍රාම වැටුප් ක්‍රමය මීටත් වඩා නවීකරණය කිරීමට. එය කළ හැක්කේ අපේ රටේ ආර්ථික වර්ධන වේගය සියයට 7.5ක ප්‍රමාණයකට වැඩිකළොත් පමණයි. අපිට එය කරන්න හැකි වුණොත් අද රජයේ සේවයේ නියුතුව සිටන අයගේ විශ්‍රාම වැටුපටත් නව්‍යකරයක් ලැබෙනවා. එසේ කිරීමට අපේ ආර්ථිකය අපනයන ආර්ථිකයක් කළ යුතුයි. අපනයන ආර්ථික වේගයෙන් තමයි රට දිට දියුණු වන්නේ. රාජ්‍ය සේවයේ ඔබ කළ සේවය නිසා මූළික ආර්ථික යටිතල පහසුකම් මහනුවර සිට කොළඹටත්, හම්බන්තොට දක්වාත් ලබා දී තිබෙනවා. ජාතික හා විදේශ ආයෝජන ලබාගෙන ආර්ථිකය ගොඩගැනීමේ වගකීම අපි සතුව තිබෙනවා. ආර්ථික සංවර්ධනය මඟින් රටට මුදල් වැඩිවෙනවා.

රටට මුදල් වැඩිවුණාම ආණ්ඩුවට මුදල් වැඩිවෙනවා ඒ අනුව අපිට යටිතල පහසුකම් සඳහා වැඩි මුදලක් යෙදවිය හැකියි. රට ආර්ථික වර්ධන වේගය ඔබේ අනාගතයේ බිහිවන දරුවන්ට යහපතක්.

මෙම අවස්ථාව සඳහා ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ඒ. ජගත් ඩයස්, රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ, පශු සම්පත් සංවර්ධන පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි, විශ්‍රාමික කැබිනට් ලේකම්වරුන්ගේ සංගමයේ සභාපති එස්. ලියනගේ, විශ්‍රාමික රාජ්‍ය හා පළාත් පාළන සේවා සංවිධානයේ කැඳවුම්කරු ටී.ඒ නන්දසේන, විශ්‍රාමික රාජ්‍ය සේවකයන් සහභාගී වුහ.

උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »