මාතෘ භූමිය නව දිසාවකට යොමු කරන්න මා සමඟ එක්වන්න

Sep 27, 2019 09.11am
feature-top
* රටේ ඒකීයභාවයට අංශු මාත්‍රයක හානියක් වෙන්න දෙන්නේ නෑ
* අපේ ඡන්ද ලකුණ හංසයා මගේ ප්‍රතිපත්ති පිළිගන්නා
* සියලුම දේශපාලන බලවේග එක්කර ගන්නවා
* විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරනවා

ජනාධිපතිධූර අපේක්ෂකත්වය ලබාදීම පිළිබඳ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඇතුළු එයට සම්බන්ධ වූ සියලු දෙනාට ප්‍රාණාමය පුදකරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඇමැතිවරයා එසේ ප්‍රකාශ කළේ ඊයේ (26දා) ජනාධිපතිධුර අපේක්ෂකත්වයට නම් කිරීමෙන් අනතුරුව සිරිකොත මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමිණි.

කිසිම සැඟවූ න්‍යාය පත්‍රයක් තමා තුළ නොමැති බවත් කිසිම ආකාරයකින් දේශීය හෝ විදේශිය දේශපාලන බලවේගවලට යටත් නොවන බවද සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් අදහස් දැක්වූ ඇමැතිවරයා, අද දින එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයත් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී මණ්ඩලයත් 2019 ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස මා නම් කළා. ඒ පිළිබඳව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාටත් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සෑම සියලු දෙනාටත් මන්ත්‍රී කණ්ඩායමේ සෑම සියලු දෙනාටත් මා කෙරෙහි තබන විශ්වසාය පිළිබඳව ප්‍රණාමය පුදකර සිටිනවා.

මේ අපේක්ෂකත්වයත් සමඟ අපේ මාතෘ භූමිය නව දිසාවකට යොමු කරවමින් රටේ පුරවැසි පරපුරට අලුත් ආරම්භයක්, උසස් සංවර්ධන රටාවක් ලබා දෙනවා. ජාතික මෙහෙවරක් ඉෂ්ට කරනවා. මගේ මේ අලුත් ගමනට සියලු දෙනාගෙන් සහයෝගය ඉල්ලා සිටිනවා. නොබෙදුණ, නොකැඩුණ ශ්‍රී ලංකාව තුළ රටේ සෑම පුරවැසියෙකුටම සාමය, සෞභාග්‍ය උදාකර දෙනවා. මනුෂ්‍යකම රජයන යුගයක් අප නිර්මාණය කරනවා.

මෙහිදී මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු ලබාදුන් ඇමැතිවරයා-

ප්‍රශ්නය- ඔබ ජනාධිපති වූවාට පසුව විධායක ජනාධිපති ධූරය අහෝසි කරනවාද?

පිළිතුර- එක්සත් ජාතික පෙරමුණ රජය 2015දී විවිධ ක්ෂේත්‍ර තුළ ආරම්භ කළ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ක්‍රියාවලීන් තිබෙනවා. එම ක්‍රියාලියන් සියලූම පාර්ශ්වකරුවන්ගේ අදහස් උදහස් විමසා ඔවුන්ගේද සහයෝගය ලබාගෙන අප ඉදිරියට ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වනවා. ඒකීය ශ්‍රී ලංකාව තුළ උපරිම බලය බෙදීම, මැතිවරණ ප්‍රතිසංස්කරණ ක්‍රියාවළිය, ජනාධිපති ක්‍රමය පිළිබඳව ආරම්භ කළ වැඩ පිළිවෙල ක්‍රියාවෙහි යොදවනවා.

ප්‍රශ්නය- ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කණ්ඩායමේ පිරිස් ඔබට සහය දිමට පැමිණියහොත්?

පිළිතුර- දේශපාලන තලය තුළ මා විශ්වාස කරන ප්‍රතිපත්තීන් පිළිගන්නා වූ සියලුම දේශපාලන පක්ෂ වලට, බලවේග වලට අපේ පුළුල් සන්ධානය තුළ ඉඩක් තිබෙනවා.

ප්‍රශ්නය- ඔබට තිබෙන කොන්දේසි මොනවාද?

පිළිතුර- මම මේ තනතුරට පත් වූනේ කිසිම කොන්දේසියක් නොමැතිව.

ප්‍රශ්නය- එක්සත් ජාතික පක්ෂයේ විවිධ කොටස් ඔබ සමඟ මතබේද තිබුණා නේද?

පිළිතුර-මතබේද එනවා, යනවා. දැන් කිසිම ගැටලුවත් නැහැ.

ප්‍රශ්නය- ඒකිය ශ්‍රී ලංකාවක් තුළ උපරිම බලය බෙදා හැරීමේ යෝජනාව දෙමළ ජාතික සංවිධානය සමඟ ආ යෝජනාවක්ද?

පිළිතුර-මේ සියලුම යෝජනා මගේ යෝජනා. මාව දන්න අය දන්නවා මා කවුද කියා. එසේ බලය බෙදිම තුළින් රටේ ඒකීය භාවයට අංශු මාත්‍රයකින් හානියක් නැහැ.

ප්‍රශ්නය- ඔබ ජනාධිපති වු පසු අගමැති ධූරය පක්ෂ නායකත්වය වෙනස් වෙනවාද?

පිළිතුර- දැන් තියෙන්නෙ ජනාධිපතිවරණය. එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස අගමැතිතුමා ක්‍රියා කරනවා. මෙම ඡන්දය අගමැතිකම පිළිබඳව තිබෙන ඡන්දයක් නොවේ. පක්ෂ නායකත්වය පිළිබඳව තිබෙන ඡන්දයක් නොවේ.

පවුලක් කේන්ද්‍රකර නොගත් දේශපාලන පක්ෂයක ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් හැසිරෙන්නේ කොහොමද කියා මාධ්‍යවේදීන් ඇතුලු සියලු දෙනා සොයා බැලීම වැදගත්. මාධ්‍යවේදීන්ද ප්‍රජාත්ත්‍රවාදී කෝණයෙන් ප්‍රශ්න ඇසිය යුතුයි. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති මම ක්‍රියාත්මක කරනවා.

2015දී අපට ජනවරමක් ලැබුණ විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරන්න. ඒ වරම අප ඉදිරියටත් ක්‍රියාත්මක කරනවා.

ප්‍රශ්නය- ඔබ ඉදිරිපත්වන ලකුණ කුමක්ද?

පිළිතුර- අප අන්තිමටම සාකච්ඡා වූ ආකාරයට හංසයා ලකුණින් තමා ඉදිරිපත් වන්නෙ. විවිධ දේශපාලන පක්ෂ අපේ දේශපාලන ගමනට සහයෝගය ලබා දෙනවා.

මගේ දේශපාලන ගමන තුළ පොරොන්දු පත්‍ර අත්සන් කරන්නෙ නැහැ. පරිණත දේශපාලනය තුළ බොළඳ කර්ක වැඩක් නැහැ. කොහොමත් ඉදිරියේදී අලි එනව තමයි. පොහොට්ටුවේ අයත් මා සමඟ එක්වීමට සිටිනවා. කිසිම සැඟවූ න්‍යාය පත්‍රයක් මා තුළ නැහැ.

ප්‍රශ්නය- ඔබගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එන්නෙ කවදාද?

පිළිතුර- ඉදිරියේදී එළි දැක්වෙයි. මගේ ප්‍රතිපත්ති මේ රටේ ජනතාව දන්නවා. පවුල රජ කරවන්න නොවෙයි මා කටයුතු කරන්නෙ. ජව සම්පන්න මාතෘ භුමියක් නිර්මාණය කිරීමයි මගේ අරමුණ.

ප්‍රශ්නය- රණ විරුවන් විරෝධතා දක්වනවා නේද?

මැතිවරණ කාල වකවානුව පැමිණෙන විට අපේ ප්‍රතිවාදීන් විවිධ දේ නිර්මාණය කරනවා. රණ විරුවන් අප රැක ගන්නවා. මේ රජය රණවිරු ප්‍රජාව වෙනුවෙන් කර තිබෙන සේවාව බලන්න.

මේ රටේ හැම පවුලකටම පරිණත සේවාවක් ඉෂ්ඨ වෙන්න ඕනෙ. එහිදී උතුරු නැගෙනහිර ජනතාවටද විශාල සේවාවක් සිදුවෙනවා. ඒ සහතිකය මා ජනතාවට ලබා දෙනවා.

ප්‍රශ්නය- දේශපාලන කටයුතු සිදුකරන්නෙ පාරිසරික හානියක් සිදුනොවක ලෙසද?

පිළිතුර- හැකි උපරිමයෙන්, පුළුවන් තරම් දුරකට පරිසර හිතකාමී ලෙස ක්‍රියා කරනවා. ප්‍රතිවාදීන් වගේ අද කියා හෙට පොරොන්දු කඩ කරන්න මට බැහැ. අප තුළ ප්‍රචණ්ඩත්වය නැහැ. පොහොට්ටුවෙන් ලැබෙන සහයෝගය මට දරන්න බැහැ.

එක්තරා පාර්ශ්වයක් නියෝජනය කරන අපේක්ෂක තුමාගෙන් මාධ්‍යවේදීන් ඇයි මෙහෙම ප්‍රශ්න අහන්නෙ නැත්තෙ. ඒ කණ්ඩායම මාධ්‍යවේදීන්ට බය වේලාද. මාධ්‍යවේදීන් එම කණ්ඩායමට බය වෙලාද?

උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »