දරුවන්ගේ අනාගතය සහ අධ්‍යාපනය ගැන නිවැරදි දැක්මක් පාලකයන්ට තිබිය යුතුයි

Aug 27, 2019 10.46am
feature-top
ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවල ඉහළම ක්‍රීඩා උලෙළ ලෙස සැලකෙන ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ක්‍රීඩා උලෙළ 2019 : ( SLUG ) සමාරම්භක අවස්ථාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(26) පස්වරුවේ රුහුණු විශ්වවිද්‍යාල ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.

ජනපති

රටේ දරුවන්ගේ අනාගතය සහ අධ්‍යාපනය පිළිබඳ නිවැරදි දැක්මක් ‍රටේ පාලකයන්ට තිබිය යුතු බව ජනාධිපතිවරයා ලෙස තමා විශ්වාස කරන බව ජනාධිපතිවරයා පවසයි.

උගතුන්ගෙන් සහ බුද්ධිමතුන්ගෙන් සපිරි යහපත් රටක් ලෙස රට ගොඩනැගිය හැක්කේ එවන් නිවැරදි දැක්මක් සහ සැලැස්මක් ඔස්සේ කටයුතු කිරීමෙන් බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ඊයේ (26) පස්වරුවේ රුහුණු විශ්වවිද්‍යාල ක්‍රීඩාංගණයේ පැවති 13 වන ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලේ සමාරම්භක අවස්ථාව අමතමිනි. මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් කියා සිටියේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට සහ සිසුන්ගේ පහසුකම් වැඩිදියුණු කිරීම වෙනුවෙන් පසුගිය පස් වසර තුළ කැපී පෙනෙන වැඩ කොටසක් ඉටුකර තිබෙන බවයි.

උසස් අධ්‍යාපනය සඳහා වාර්ෂිකව වෙන් කෙරෙන ප්‍රාග්ධන වියදම පසුගිය වසරවල රුපියල් බිලියන 60 දක්වා ඉහළ නැංවූ බවත්, වත්මන් රජය බලයට පත්වීමට පෙර එම ප්‍රමාණය බිලියන 45 ක් පමණක් වූ බවත් ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

එමෙන්ම 2013-2014 වසරවල විශ්වවිද්‍යාලවලට ඇතුළත් කෙරුණු සිසුන්ගේ ප්‍රමාණය 24198 ක් පමණක් වූ අතර ගෙවී ගිය 2018-2019 වසරවල එම සංඛ්‍යාව 31,158 දක්වා ඉහළ නැංවූ බවත් එය 28% වර්ධනයක් බවත් ජනාධිපතිතුමා පැවසීය. වෛද්‍ය, ඉංජිනේරු, තාක්ෂණ, විද්‍යා අංශවලට වැඩිපුර සිසුන් ඇතුළත් කිරීම අවශ්‍ය වන අතර ඒ වෙනුවෙන් සෑම විශ්වවිද්‍යාලයකම නව පීඨ ඇති කරමින් ඒවාට අවශ්‍ය පහසුකම් ඉහළ නැංවූවා පමණක් නොව නව උපාධි සහ පශ්චාත් උපාධි පාඨමාලා හඳුන්වාදීමටද පියවර ගත් බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

මහපොළ ශිෂ්‍යත්ව මුදල රුපියල් 2500 සිට රුපියල් 5000 දක්වා ඉහළ නැංවීමට කටයුතු කර තිබෙන අතර විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම වෙනුවෙන් ක්ෂේත්‍රයේ විද්වතුන් සමඟ එක්ව කටයුතු කරමින් සිටින බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

එපමණක් නොව 2014 වසර අවසාන වනවිට ඇ.ඩො. 3821 ක් ව පැවති ඒකපුද්ගල දළ ජාතික ආදායම ඇ.ඩො.4060 දක්වා ඉහළ නැංවීමට ද වත්මන් රජයට හැකියාව ලැබුණු බව ජනාධිපතිතුමා පැවැසීය. පාසල් අධ්‍යාපනයේද ගුණාත්මක වෙනසක් සිදුව තිබෙන අතර අද ප්‍රාථමික අධ්‍යාපනය ලබන දරුවන්ගේ සහභාගිත්වය 100% වන අතර ද්විතීක අධ්‍යාපනය ලබන දරුවන්ගේ සහභාගිත්වයද 99% ක් වැනි ඉහළ අගයක පවතින බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙල (SLUG), ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවල ඉහළම ක්‍රීඩා උළෙල ලෙස සැලකෙන අතර විශ්වවිද්‍යාල 14 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගිත්වයෙන් පවත්වනු ලබන දේශීය තාරුණ්‍යයේ සරසවි ඔලිම්පික් උළෙල ලෙස ද හැඳින්වෙයි. වසර 03 කට වරක් ශ්‍රී ලංකාවේ විවිධ විශ්වවිද්‍යාලවලට මෙම ක්‍රීඩා උළෙල සංවිධානය කිරීමේ සත්කාරකත්වය හිමිවන අතර 2019 වසරේ රුහුණු විශ්වවිද්‍යාලය විසින් එහි සත්කාරකත්වය දරනු ලබයි.

පුරා දින ගණනාවක් පැවැත්වෙන මෙම ක්‍රීඩා උළෙල තුළින් සැබෑ මිනිසුන්ගේ විනය හැසිරීම හා විවේචනයන් දරාගැනීමේ වැනි අවශ්‍යම ගුණාංගයන් පවත්වා ගැනීමට අවස්ථාව උදාකර දෙයි. තරග අංශ 22 ක් යටතේ 35 කට නොඅඩු තරග ඉසව් සංඛ්‍යාවකින් මෙවර එය සමන්විතය.

ක්‍රීඩා උළෙල සමාරම්භය සනිටුහන් කරමින් එහි නිල ධජය ජනාධිපතිතුමා වෙත භාරදෙනු ලැබීය.

රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපති පූජ්‍ය අකුරටියේ නන්ද ස්වාමින් වහන්සේ ද, දකුණු පළාත් ආණ්ඩුකාර හේමාල් ගුණසේකර, රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුජීව අමරසේන මහතා ඇතුළු විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සහ ආචාර්ය මහාචාර්යවරුන් ද 13 වන ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ක්‍රීඩා උ‍ෙළලේ සභාපති මහාචාර්ය තිලක් පී. ගමගේ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »