තරුණ මන්ත්‍රීන් ආවේගශීලී නොවී වැඩ කළ යුතුයි

Aug 20, 2019 09.26am
feature-top
සෑම පක්ෂයකටම විනය අවශ්‍යයි

සෑම පක්ෂයකටම විනය අවශ්‍ය බවත්, තරුණ මන්ත්‍රීවරුන් ආවේගශීලී නොවී සංයමයකින් ක්‍රියා කළ යුතු බවත් මෙසේ පවසන්නේ කිසිවකු කෙරෙහි අමනාපයකින් නොවන බවත් ඇමැති අර්ජුන රණතුංග මහතා ප්‍රකාශ කළේය. ජනාධිපති අපේක්ෂකයකු නම් කිරීමට තවම කල් වැඩි බවත් කථාවෙන් නොව ක්‍රියාවෙන් රට වෙනුවෙන් කැපවී රටේ අනාගතය ජාත්‍යන්තරය මේ හැම දෙයක් පිළිබඳ ඉතා හොඳ දැක්මක් ඇති අයකු ජනාධිපති අපේක්ෂකයා විය යුතු බව තම අදහස බවත් ඇමැතිවරයා අවධාරණය කළේය.

දක්ෂ දිනන අපේක්ෂකයන් රැසක් සිටින බව කී ඇමැතිවරයා බිහිකිරීමට නියමිත සන්ධානයේ ගැටලුකාරී තත්ත්වයන් බොහොමයක් සාකච්ඡා මඟින් විසඳා තිබෙන බවද කීය. සන්ධානයකින් තොරව තනි පක්ෂයක් ලෙස කිසිම පක්ෂයකට ජයග්‍රහණය කළ නොහැකි බවද හෙතෙම සඳහන් කළේය.

තමාට අවශ්‍ය ජනතා සුබසිද්ධියට අමාත්‍යාංශයෙන් කළයුතු වැඩ කොටස නිමා කිරීම මිස අපේක්ෂකයා කවුදැයි සොයා බැලීම නොවන බවත් ඇමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

අරලියගහ මන්දිරයේ දී ඊයේ (19) පැවැති මාධ්‍ය සාකච්ඡාවෙන් පසුව මාධ්‍යවේදීන් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛව ඇති කිරීමට නියමිත සන්ධානය පිළිබඳ කළ විමසීම් හමුවේ ඇමැතිවරයා මෙ‍ම අදහස් පළ කළේය.



උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »