විසිතුන්වෙනි හමුදාපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා

Aug 20, 2019 09.25am
feature-top
ශ්‍රී ලංකා යුද හමුදාවේ විසිතුන්වෙනි යුද හමුදාපතිවරයා ලෙස මෙජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කෙරිණි. ඒ මහතාට අදාළ පත්වීම් ලිපිය ජනාධිපතිවරයා අතින් ජනාධිපති කාර්යාලයේ දී ඊයේ (19) පිරිනැමූ අවස්ථාව. ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ. ඡායාරූපය- සුදත් සිල්වා

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 23වෙනි යුද්ධ හමුදාපතිවරයා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත් කර තිබේ.

හිටපු යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගේ සේවා කාලය ඊයේ (19) දිනෙන් අවසන් වූ අතර ඊයේ දිනයේ දී ශවේන්ද්‍ර සිල්වා මහතාගේ පත්වීම සිදුවිය ශවේන්ද්‍ර සිල්වා මහතා ඒ වනවිට යුද්ධ හමුදා මාණ්ඩලික තනතුර දරමින් සිටියේය. මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගජබා රෙජිමේන්තුවේ අණ දෙන නිලධාරී ලෙස කටයුතු කරමින් සිට ඇති අතර, ඊට පෙර මෙහෙයුම් අධ්‍යක්ෂ ධුරය ද දරමින් සිට ඇත.

පසුගිය අවසන් මානුෂීය මෙහෙයුමේ දී 58වෙනි සේනාංකයේ අණ දෙන නිලධාරියා වශයෙන් සුවිශේෂි සේවයක් කළ මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා 1964 ජුනි මස 22 දින මාතලේ ප්‍ර දෙශයේ දී උපත ලබා අනුරාධපුර ශාන්ත ජෝශප් , මාතලේ විජය සහ මාතලේ ශාන්ත තෝමස් විදුහල් වලින් අධ්‍යාපනය හදාරා ඇත. පාසල් කාලයේ දී බටහිර තූර්යවාදක කණ්ඩායමේ නායකයා වශයෙන්කටයුතු කළ ශවේන්ද්‍ර සිල්වා පාසල් ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස ද කටයුතු කර ඇත. ඒ අතර පාසල් ජ්‍යෙෂ්ඨ කැඩේට් නිලධාරි ලෙස ද කටයුතු කර පාසල් අධ්‍යාපනයෙන් පසු 1984 වසරේ දී ශ්‍රි ලංකා යුද්ධ හමුදාවට එක්විය.

දියතලාව පුහුණු පාසලේ දී හමුදා පුහුණුව ලැබු ශවේන්ද්‍ර සිල්වා අනතුරුව දෙවැනි ලුතිනන්වරයකු ලෙස ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ ගජබා රෙජිමේන්තුවට එකතු විය. පසුව කොමාන්ඩෝ රෙජිමේන්තුවේ පුහුණු සහ උපදේශක තනතුරු දැරූ අතර, ආරක්ෂක පුහුණු පාසලේ විදෙස් පුහුණුව ලැබු දක්ෂ නිලධාරියකු වු ශවේන්ද්‍ර සිල්වා 1987 වසරේ දී ජනාධිපති ආරක්ෂක ඒකකයේ ද කටයුතු කළේය.

2002-2004 වසරවල දී ත්‍රස්තවාදීන් සමඟ පැවැති සාම සාකච්ජාවලට ද සම්බන්ධ වු ශවේන්ද්‍ර සිල්වා 4වෙනි ඊලාම් යුද්ධයේ දී 58සහ 53 සේනාංක බාරව කටයුතු කරමින් අවසන් මානුෂිය මෙහෙයුමෙන් ජයග්‍රහණය දක්වාම යුද මෙහෙයුම්වල නියැලී සිය හමුදා ජයග්‍රහණය කරා ගෙන යමින් අති විශිෂ්ට කැපවීමක් කළ අභිත හමුදා විරුවන් අතර සිටි දක්ෂ හමුදා විරුවෙකි. එම මෙහෙයුමේ දී සිය හමුදා බල ඇණි ජයග්‍රහණය කරා ගෙන යමින් මන්නාරම හාල් නැලිය, වඩිවෙල්තිව් , නාච්චිකුඩා, පුණරින්, කිලිනොච්චි, පරන්තන්, අලිමංකඩ, ධර්මපුරන් , විශ්වමඩු ,සුහන්දිපුරම් , පුදුකුඩුඉරිප්පු , පුදුමාතලන් , වෙල්ලමුල්ලවෛයික්කාල් , හරහා අවසන් ජයග්‍රාහි ඉලක්කය සපුරා ගත් නන්දිකඩාල් වෙත සිය හමුදා බලඇණි ඉදිරියටම ගෙන ගිය අභීත සෙන්පතියකු වෙයි.

අවසන් මානුෂිය මෙහෙයුම් විජයග්‍රහණයෙන් පසු 2010 වසරේ දී ශ්‍රි ලංකා නිත්‍ය නියෝජිත ලෙස එක්සත් ජාතීන්ගේ මුලස්ථානයට පත් වූ මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර, 2015 වසරේ දී අමෙරිකාවේ තානාපතිවරයා ලෙස පත්විය. ශවේන්ද්‍ර සිල්වා මහතා රාජතාන්ත්‍රික ධුරයක් දැරූ පළමු හමුදා නිලධාරියා බවට ද පත් වී ඇත.

ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ රණවිරුන් සිය සේවා කාලයේ දී සිදු කළ දක්ෂතාවන් කැපවීම් වෙනුවන් ප්‍රදානය කෙරෙන විවිධ වු පදක්කම් අතර වු වීර වික්‍රම විභූෂණ , රණවික්‍රම, උත්තම සේවා , රණශූර, පදක්කම්වලින් පිදුම් ලබා ඇත.

මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 23වැනි හමුදාපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් පසු ලුතිනන් ජෙනරාල් නිලයට පත් වෙයි.



උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »