ඇසළ පෙරහරට උපරිම ආරක්ෂාව අගමැති මහනුවර දළදා මාළිගාවේ දී කියයි

Jul 25, 2019 09.41am
feature-top
මහනුවර ඇසළ පෙරහරේ ආරක්ෂාව උපරිම ලෙස තහවුරු කරමින් මෙවරත් පෙර පරිදි සාර්ථක පෙරහර මංගල්‍යයක් පවත්වන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

පෙරහරට අවශ්‍යය ආරක්ෂාව විධිමත් ලෙස තහවුරු කරන ලෙස මෙහිදී අගමැතිවරයා ආරක්ෂක අංශ ප්‍රධානීන්ට උපදෙස් දුන්නේය.

මහනුවර ඇසළ පෙරහරේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගෙන තිබෙන හා ඉදිරියේදී ගැනීමට නියමිත පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම වෙනුවෙන් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ බහුකාර්ය ගොඩනැගිල්ලේදී ඊයේ (24) පැවැති විශේෂ රැස්වීකදී අගමැතිවරයා මේබව ප්‍රකාශ කළේය. ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුව අගමැතිවරයා මෙම සාකච්ඡාවට සම්බන්ධ විය.

අස්ගිරි මහනායක වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ මල්වතු පාර්ශවයේ අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමි අස්ගිරි පරිවේණාධිපති නාරංපනාවේ ආනන්ද,දළදා තේවාව භාර තිබ්බටුවාවේ මේධංකර නාහිමි,අස්ගිරි පාර්ශවයේ කාරක සංඝ සභික මුරුද්දෙණියේ ධම්මරතන හිමිවරු මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.

මෙවර රුහුණු කතරගම පෙරහරේ අවසන් පෙරහරට අති විශාල ජනතාවක් පැමිණි බවත් එලෙසින්ම මහනුවර ඇසළ පෙරහර නැරඹීමටත් විශාල පිරිසක් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් අගමැතිවරයා කීය.

මෙම අවස්ථාවට ඇමැති මලික් සමරවික්‍රම,ජනමාධ්‍යය හා ආරක්ෂක රාජ්‍යය ඇමැති රුවන් විජේවර්ධන,මහනුවර පුරපති කේසර සේනානායක,ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල,සතර මහ දේවාළ බස්නායක නිළමේවරු,මහනුවර දිසාපති තිස්ස කරුණාරත්න,මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම් වික්‍රමසිංහ,යුද හමුදාවේ එකොළොස්වන සේනාංකාධිපති මේජර් ජනරාල් සෙනරත් බණ්ඩාර යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.

සාකච්ඡාවෙන් අනතුරුව අගමැතිවරයා මල්වතු මහ විහාරයට ගොස් එම පාර්ශවයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »