සිසුන්ට ටැබ් ලබා දෙන ආසියාවේ පළමු රට ශ්‍රී ලංකාවයි

Jun 28, 2019 09.04am
feature-top
ලබන පාසල් වාරයේ සිට උසස් පෙළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ටැබ් පරිගණක ලබාදීමට ක්‍රියාකරන බවත්, මෙම යෝධ පියවර තබන දකුණු ආසියාවේ මුල්ම රට ශ්‍රී ලංකාව බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

සුහුරු පන්ති කාමර, සුහුරු පාසල් සහ ටැබ් පරිගණක පහසුකම් සලසාලමින් අනාගත ලෝකයට සරිලන පරපුරක් බිහිකරලීමට එක්සත් ජාතික පෙරමුණු රජය කැපවී සිටින බව ද වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

අග්‍රාමාත්‍යවරයා මේ අදහස් දැක්වූයේ ඊයේ (27) දින ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති රැසක් ජනතා අයිතියට පත් කිරීමෙන් අනතුරුව ත්‍රිකුණාමලය, හින්දු සංස්කෘතික ශාලාවේ පැවැති උතුරු - නැඟෙනහිර පළාත් ස්වේච්ඡා ගුරුවරුන් සඳහා පත්වීම් ලබාදීමේ උත්සවය අමතමිනි.

දැනට පරිගණක ක්ෂේත්‍රයේ රැකියා 90,000ක පුරප්පාඩු පවතින බව පෙන්වා දුන් වික්‍රමසිංහ මහතා ඒ සියලූ පුරප්පාඩු ශ්‍රී ලාංකිකයන් මඟින් පිරවීමට පසුබිම මේ අධ්‍යාපන විප්ලවයෙන් සැකසෙන බව ද සඳහන් කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) තඹලගමුව ප්‍රාදේශීය රෝහලේ නව ගොඩනැගිල්ල සඳහා මුල්ගල් තැබීම, අවතැන්වූවන් සඳහා තඹලගමුව ඉදිකරන ලද නිවාස විවෘත කිරීම, කන්නියා - ඉලූප්පෙයිකුලම් මාර්ගය සහ තවත් මාර්ග කිහිපයක් ජනතා අයිතියට පත් කිරීම ඇතුළු සංවර්ධන ව්‍යාපෘති රැසක් ජනතා අයිතියට පත් කෙරිණි.

මෙහිදී ත්‍රිකුණාමලය ප්‍රදේශයේ අවතැන්වූ පවුල් 600ක් සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සුරතින් නිවාස හිමිකම් පත් පිරිනැමීම ද විශේෂත්වයක් විය. එම උත්සවය අමතා අදහස් දැක්වූ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා කියා සිටියේ වත්මන් රජය යටතේ උතුරු - නැඟෙනහිර පළාත්වල සංවර්ධන කටයුතු රැසක් සිදු කර තිබෙන බවත් ඒ වගේම ජාතික ප්‍රශ්නයට විසඳුමක් ලබාදීමට කටයුතු කරනු ඇති බවත්ය.

අධ්‍යාපන රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය සඳහන් කළේ උපාධිධාරීන් 22,000 කට පත්වීම් ලිපි ලබාදීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබෙන බවත්, ඒ අය පත් කිරීමේ දී උතුරු නැඟෙනහිර - පළාත්වලට වැඩි අවධානය යොමු කළ යුතු බවත් ය.

උතුරු - නැගෙනහිර පළාත්වල රැකියා නොමැති තරුණ තරුණියන් විශාල පිරිසක් සිටින බව පෙන්වා දුන් පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා, එම තරුණ තරුණියන්ට රැකියා ලබාදීම සඳහා විවිධ ව්‍යාපෘති ආරම්භ කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන්නේය.

මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.ඒ. සුමන්තිරන්, ඩී. සිද්ධාර්තන්, අබ්දුල් මහරුෆ්, ඉම්රාන් මහරුෆ්, තුරෙයි රත්නසිංහම්, සන්දිත් සමරසිංහ, එස්.එම්. තවුෆික් සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, අමාත්‍යාංශ ලේකම්වරුන්වන වී. සිව ඥානසෝති, එම්.එන්. රණසිංහ යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් හා දේශපාලනඥන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »