පටු දේශපාලනය වෙනුවෙන් ජී.එම්.ඕ වෛද්‍ය වෘත්තිය හෑල්ලු කරනවා

Jun 25, 2019 09.41am
feature-top
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පටු දේශපාලන අරමුණු ඉටු කර ගැනීම සඳහා වෛද්‍ය වෘත්තිකයන්ගේ වෘත්තීයභාවය හෑල්ලුවට ලක් කරමින් කටයුතු කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කණ්ඩායමක් තම පටු දේශපාලන අරමුණු ඉටු කර ගැනීමට සංගමය අවභාවිත කිරීම නිසා 22,000ක් පමණ වන වෛද්‍යවරුන්ගෙන් 1000ක් වත් සංගමයේ දේශපාලන විරෝධතාවලට සම්බන්ධ නොවන බවද ඒ මහතා පැවැසුවේය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙසේද ප්‍රකාශ කළේය.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිටින ඇමැතිවරයා සමඟ සුහදශීලිව වැඩ කටයුතු කළ යුතුයි. ඇමැතිවරුන් සමඟ සුහදශීලීව කටයුතු නොකිරීම නිසා වෛද්‍ය අයිතිවාසිකම් ලබා ගැනීමට අපහසුතාවක් ඇති වෙනවා. අපේ සංගමය බිහි කළේ මේ නිසායි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පසුගිය වසර පහේ දී ලොකු වෙනසක් දැක ගන්න හැකි වුණා. විශේෂයෙන්ම දේශපාලනීකරණය වූ සංගමයක් බවට පත්ව තිබෙනවා. අපි දේශපාලනයෙන් තොරව නමුත් සිටින ඇමැතිවරයා සමඟ නම්‍යශීලිව අපේ ප්‍රතිපත්තිවලට අනුව කටයුතු කරනවා. අපේ සංසදයේ වැඩ කටයුතු සම්බන්ධයෙන් සොයා බලා වෛද්‍යවරුන් දැන් වැඩි වැඩියෙන් අපේ සංසදයේ සාමාජිකයන් බවට පත්වෙමින් සිටිනවා.

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය තිබෙනවා. එහි ප්‍රධානියා ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේ දේශපාලනයයි, වෘත්තීය සමිතියයි පටලවා ගෙන නැහැ. තමන්ගේ වෘත්තීය සමිතිය දේශපාලනයේ යොදවා ගෙන නැහැ. අපි එය අගය කළ යුතුයි. වෛද්‍යවරුන් ටයි එකත් දාගෙන දැන් ස්ටේෂන් ගාණේ පත්‍ර බෙදනවා. වෛද්‍යවරුන් එසේ නොකළ යුතුයි. මේ තත්ත්වයට වෛද්‍ය වෘත්තිය පත්වීම ලැජ්ජාවක්.

මේ සංගමය දැන් හයිජැක් වෙලා. වෛද්‍යවරුන් 23,000ක් පමණ මෙරට සේවයේ යෙදී සිටිනවා. සෞඛ්‍ය ඇමැතිවරයාට විරෝධය දක්වමින් සංගමය සිදු කරන විරෝධතාවලට වෛද්‍යවරුන්ගෙන් සියයට පහක්වත් සංගමය සමඟ එක්ව නැහැ. සියයට පහක් ගත්තත් වෛද්‍යවරුන් දාහක් විතර ඉන්න ඕනේ. ඒ දහසේ විරෝධතා තැනින් තැන මාධ්‍යයෙන් පෙන්නුවාම විශාල සංඛ්‍යාවක් විදියට පේනවා. රාජිත සේනාරත්න ඇමැතිවරයා හොඳම සෞඛ්‍ය ඇමැතිවරයෙක් වූවේ කෙසේද කියලාත් අපට පෙන්නුම් කරන්න වෙනවා ඉදිරියේදි. වෛද්‍යවරුන්ගෙන් සියයට 85 කට විතර රටේ දේශපාලනයවත්, ඇමැතිවරයාගේ ක්‍රියාකලාපයවත් වැඩක් නැහැ. ඔවුන් ස්වාධීනව තම වෘත්තිය සිදු කරනවා. සංගමයේ මේ තත්ත්වය මැඩ පැවැත්වීමට ඇමැතිවරයා කටයුතු නොකිරීම ඇමැතිවරයාගේ දුර්වලතාවක්. මේ අය වෘත්තීය සමිතියක්නේ. වෘත්තීය සමිතියක් හැසිරිය යුතු ආකාරයක් තිබෙනවා. ඒ වගේම මේ අය වෛද්‍යවරුන්. විධායක ශ්‍රේණියේ නිලධාරීන්. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකත්වය අපෙන් ඉවත් කර තිබෙනවා. ඔවුන්ට විරුද්ධව වැරැදි පෙන්වමින් කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් විදියට තමයි අපිව ඒ සංගමයෙන් ඉවත් කළේ. නමුත් එය අපට ගැටලුවක් නොවේ. මේ වන විට සංගමයේ හාරසිය ගණනක් ඉවත් කර තිබෙනවා. ඒ අයගේ වැරැදි පෙන්වා දෙන අය ඉවත් කරනවා. සංගමයේ සාමාජික මුදල් මිලියන ගණනක් වසරක දී එකතු වෙනවා. සංගමයේ අක්‍රමිකතා, වංචා දූෂණ ප්‍රශ්න කිරීම නිසා මට චෝදනා පත්‍රයක් ඔවුන් ඉදිරිපත් කළා.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංසදයේ ලේකම් වෛද්‍ය නිරෝෂණ ප්‍රේමරත්න මහතා- රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා ඇතුළු තනතුරුවලට සාමාජිකයන් තෝරා පත් කර ගැනීමට පවත්වන මැතිවරණය දූෂණය කර තිබෙනවා. පැමිණ ඡන්දය දමන එක වෙනස් කර තැපැල් ඡන්ද වැඩිකර තිබෙනවා. තැපැල් ඡන්දවලින් දූෂණය සහිත ඡන්ද භාවිතා කිරීමට ඉතා පහසුයි.

ඇමැතිවරයා බාල වර්ගයේ ඖෂධ ගෙන්වනවා කියන එක මම අනුමත කරන්නේ නැහැ. අමාත්‍යාංශයෙන් පරිබාහිරව තමයි ඖෂධ ගෙන්වීම කරන්නේ. බාල බෙහෙත් ගෙන්වන ක්‍රමවේදය වත්මන් රජය නවතා තිබෙනවා.

මෙරට සෞඛ්‍ය ක්‍රම ක්‍රමයෙන් දියුණු වෙනවා. සමස්තයක් විදියට ලෝකයේ දියුණු රටවල් භාවිතා කරන තාක්ෂණය පවා ලංකාව දැන් භාවිතා කරනවා. අක්ෂි කාච, ස්ටෙන්ට් ලබාදීම ඇතුළු පිළිකා රෝගීන්ට අවශ්‍ය ඖෂධ ලබාදීමට ඇමැතිවරයා කටයුතු කිරීම අගය කළ යුතුයි. ජනතාවගේ අවශ්‍යතාව හඳුනාගෙන ඇමැතිවරයා වැඩ කිරීම ඉතාම වැදගත්. උදාහරණයක් විදියට අපි හිතමු රෝහලක ළමා වාට්ටුවක් විවෘත කරනවා කියලා. එය ජනතාවට හොඳයි. එය විවෘත කරන්නට ගියාම ගමේ මිනිසුන් ඇවිත් සෞඛ්‍ය ඇමැතිවරයාට හූ කියන්නේ නැහැනේ. ඒක කරන්න වෛද්‍ය වෘත්තිකයන් ඉදිරිපත්වීම ඉතා කනගාටුදායකයි. ජනතාවට වැඩක් වන දෙයක් වෙන විට වෛද්‍යවරයෙක් විදියට මම නම් විරුද්ධ නැහැ. නමුත් සමහරු ඒකට විරුද්ධ වන්නේ ඇයි?. තමුන්ට බලපෑමක් වන නිසා තමයි විරුද්ධ වන්නේ. ළමා වාට්ටු වෙන වෙන රෝහල්වල ඉදි කරන විට තමන්ගේ රෝහලේ වාට්ටුවට දරුවන් රැගෙන එන්නේ නැති වෙයි කියා සමහරුන්ට බයක් ඇති. ස්ටෙන්ට් නොමිලේ දෙන විට ව්‍යාපාර කරන වෛද්‍යවරුන්ට රිදෙනවා ඇති.



උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »