පාසල් දරුවන්ට නිල ඇඳුම් 2ක්-සපත්තු ජෝඩුවක් නොමිලේ ලබා දෙනවා

Jun 21, 2019 09.26am
feature-top
රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ පුතුණුවන්ට රාජ්‍ය බලය නැමැති හැන්ද ලබාදිය යුතු යැයි ජනතාව තීන්දු කළහොත් මෙරට ලක්ෂ 44ක් පමණ වන පාසල් දූ දරුවන්ට නොමිලේ පාසල් නිල ඇඳුම් කට්ටල දෙකක් සහ සපත්තු කට්ටලයක් ලබා දෙන යුගය නැවත ආරම්භ කරන බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. මෙරට පාසල් යන දූ දරුවන්ට නොමිලේ නිල ඇදුම් ලබා දීමේ වැඩසටහන ආරම්භ කළේ දිවංගත රණසිංහ ප්‍රේමදාස තම පියාණන් බවත්, ලක්ෂ 44ක් පමණ වන පාසල් දූ දරුවන්ට එවැනි ශක්තියක් ලබා දීමට තමන් කටයුතු කරන්නේ ඡන්ද ලබා ගැනීමේ අදහසින් නොව, තම පියාණන් ආරම්භ කළ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යමින් උගත් බුද්ධිමත් දරු පරපුරක් මෙරට බිහි කිරීමේ අරමුණින් බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

රත්නපුර, කොලොන්න මැතිවරණ කොට්ඨාසයේ උදා ගම්මාන වැඩසටහනට යන අවස්ථාවේ දී ඉරුනු නිල ඇඳුම් ඇද ගත් දරුවන් පිරිසක් පාරේ ගමන් කරනු දැකීමෙන් අනතුරුව තම පියාණන් පාසල් දරුවන්ට නොමිලේ නිල ඇඳුම් ලබා දීමේ වැඩසටහන රත්නපුර දිස්ත්‍රික්කයෙන්ම ආරම්භ කළ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ රත්නපුර දිස්ත්‍රික්කයේ, කහවත්ත, බුංගිරිය ප්‍රදේශයේඉදි කළ “කටුරොදගම” උදා ගම්මානය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට ඊයේ (20) දින සහභාගී වෙමිනි. “සැමට සෙවණ” යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පැවරුණු 204 වන ආදර්ශ ගම්මානයමෙය වේ.

“කටුරොදගම” උදා ගම්මානය නිවාස 24කින් සමන්විත වන අතර එය අංගසම්පූර්ණව ඉදිකිරීම සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ340කි. මෙම උදා ගම්මානය පිරිසුදු පානීය ජලය, විදුලිය, ප්‍රවේශ මාර්ග හා විධිමත් අභ්‍යන්තර මාර්ග ඇතුළු සියලු යටිතල පහසුකම්වලින් සමන්විත වේ.

ගම්මානය ජනතා අයිතියට පත්කිරීමට සමඟාමීව නිවාසලාභීන් 24 දෙනාට නිවාස හිමිකම් පත්‍ර ප්‍රදානය හා රුපියල් ලක්ෂ 120ක් වටිනා සංවර්ධිත බිම් කොටස් 24 ක හිමිකම නොමිලේ ලබාදීම, ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 100කට රුපියල් ලක්ෂ 200ක් වටිනා ‘විසිරි නිවාස ණය’, පවුල් 130ක් සඳහා රුපියල් ලක්ෂ 260ක් වටිනා ‘සොඳුරු පියස නිවාස ණය’, වකුගඩු රෝගීන් 25 ක් සඳහා රුපියල් ලක්ෂ 71ක් වටිනා නිවාස අධාර, පවුල් 8 ක් සඳහා රුපියල් ලක්ෂ 33 ක් වටිනා ‘ග්‍රාම ශක්ති නිවාස ආධාර’, ප්‍රතිලාභීන්13දෙනෙකුට රුපියල් ලක්ෂ79ක් වටිනා “විරුසුමිතුරු නිවාස ආධාර”, පුහුණුලාභීන් 50ක් සඳහා රුපියල් ලක්ෂ25ක් වටිනා ‘ශිල්ප සවිය’ ප්‍රතිලාභ,ප්‍රාදේශීය කලාකරුවන් 5 දෙනෙකු සඳහා රුපියල් 50,000ක් වටිනා වෛද්‍ය ආධාර සහ දෘෂ්‍යාබාධ සහිත පුද්ගලයන්200කට නොමිලේ ඇස් කණ්ණාඩිප්‍රදානය කිරීම ද අමාත්‍යවරයා අතින් මෙහිදී සිදු කෙරිණි.

මෙම අවස්ථාවට අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල, පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂාන් විතානගේ යන මහත්ම මහත්මීහු ද සහභාගී වූහ.



උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »