අන්තවාදය පිටුදැක ශක්තිමත් දේශයක් ලෙස නැගී සිටිනවා

Jun 14, 2019 09.11am
feature-top
කෙටිකාලයකින් ත්‍රස්තවාදය මුළුමනින්ම පාහේ අකර්මන්‍ය කර ආරක්ෂාව තහවුරු කළ පරිදිම සියලු අන්තවාදයන් පිටුදැක නොබෝ දිනකින් ශ්‍රී ලංකාව යළි සමඟි සම්පන්න ශක්තිමත් දේශයක් ලෙස නැගී සිටිනු ඇතැයි කතානායක කරූ ජයසූරිය මහතා ප්‍රකාශ කළේය. ත්‍රස්තවාදය හා ඊට අවශ්‍ය පෝෂණය ලබා දෙන අන්තවාදය පිටුදැකීමට, පාර්ලිමේන්තුවට අදාළ ආංශික කාරකසභා සහ අමාත්‍යාංශ සම්බන්ධීකරණය කරමින් පැහැදිලි නීති සම්පාදනය කරමින් සිටින බවත්, එක රටක එක් නීතියක් යටතේ එකම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස ජීවත්වීමට ඉන් පදනම සැලසෙනු ඇතැයි තමා විශ්වාස කරන බවත් කතානායකවරයා අවධාරණය කළේය.

කතානායක කරූ ජයසූරිය මහතා මේ බව සඳහන් කළේ ඉස්ලාම් රටවල් 17ක තානාපතිවරු කතානායකවරයා සමඟ පාර්ලිමේන්තුවේ දී පසුගිය දා පැවැත්වූ වි‍ශේෂ හමුවවේ දී සිය අදහස් දක්වමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ කතානායක කරූ ජයසූරිය මහතා සඳහන් කළේ ආගමට මුවා වී සිදුකරන අන්තවාදී ක්‍රියාවලියත්, ළමා විවාහ, බහුවිවාහ මෙන්ම අන්‍යතාව වසන් කරන විලාසිතා සහ අන්තවාදය පෝෂණය කරන අධ්‍යාපන ආයතන සම්බන්ධව පියවර ගැනීමේ දී ඉස්ලාම් නායකයන් මෙන්ම සාමකාමී බහුතර ඉස්ලාම් ජනතාවගෙන් ලැබුණු සහය හා මඟ පෙන්වීම කෘතවේදීව සිහිපත් කරන බවයි.

ශ්‍රී ලංකාවවේ කවර ජාති ආගම් ජීවත් වූවද සියල්ලන්ටම බලපාන පොදු නීතියක් ක්‍රීයාත්මක කිරීමේ අවශ්‍යතාව තමන් ද අවිවාදයෙන් පිළිගන්නා බව මෙහිදී ඉස්ලාම් රටවල තානාපතිවරු පැවසූහ.

එමෙන්ම, මද්‍රසා පාසල් සහ ආගමික අධ්‍යාපන ආයතන රජයේ අධීක්ෂණය යටතට පත්වීම ද වැදගත් අවශ්‍යතාවක් බව එම තානාපතිවරු සඳහන් කළහ. වෛරී කථනය හා සමාජ මාධ්‍ය මඟින් පතුරවන වෛරී අදහස් පාලනයට පියවර ගැනීමේ වැදගත්කම ද මෙහිදී ඔවුහු පෙන්වා දුන්හ.

කතානායකවරයා සමඟ මෙම හමුවට එක් වූ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, ආංශික කාරක සභා සභාපතිවරුන් වන මයන්ත දිසානායනක, මලික් ජයතිලක යන මන්ත්‍රීවරු ද කරුණු පැහැදිලි කළහ.

මෙම හමුවට ඇෆ්ගනිස්ථානය, බංලාදේශය, ඊජිප්තුව, ඉන්දුනිසියාව, ඉරානය, ඉරාකය, ලිබියාව, කුවේට්, මැලේසියාව, ඕමානය, පකිස්තානය, පලස්තීනය, කටාර්, සෞදිආරාබියාව, තුර්කිය යන රටවල් නියෝජනය කරමින් තානාපති නිලධාරීහු එක්ව සිටියහ.



උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »