ෂැංග්‍රිලා බෝම්බකරු සමඟ තඹ කම්හලේ සේවකයන් සබඳතා පවත්වලා

Jun 11, 2019 09.39am
feature-top
අධිකරණයට ඉදිරිපත් කර ඇපමත සිටින වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ සේවකයන්ගෙන් ප්‍රකාශ ලබා ගත් බවත්, ඔවුන් ෂැංග්‍රීලා හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බකරු වන ඉන්ෂාඩ් ඊබ්බ්‍රහීම් අහමඩ් සමඟ සමීප සබඳතා පැවැත් වූ බවට කරුණු අනාවරණය වී ඇති බවත් ත්‍රස්ත විමර්ශන ඒකකය ඊයේ (10) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා වෙත දැනුම් දුන්නේය.

දැනට රක්ෂිත බාරයේ සිටින දසවන සැකකරු ලක්ෂ දෙකක ණය මුදලක් බෝම්බකරුගෙන් ලබා ගැනීමක් සම්බන්ධයෙන් කරුණු අනාවරණය වන බවත් ඔහුගෙන් බන්ධනාගාරයේ දී ප්‍රකාශයක් ගැනීමට අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියේය.

සෙසු සැකකරුවන්ගේ ප්‍රකාශ මත තවදුරටත් විමර්ශන සිදු කරන බවට ත්‍රස්ත විමර්ශන ඒකකය අධිකරණයට කරුණු දැක්විය.

පොලිස්පතිවරයාගේ නියෝගයකට අනුව මෙම සිද්ධියේ විමර්ශන කොළඹ ත්‍රස්ත විමර්ශන කොට්ධාසය වෙත බාර දුන් බවට වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කළ ත්‍රස්ත ඒකකය දැනටමත් ඇප මත සිටින මෙම සැකකරුවන්ගේ විදේශ ගමන් තහනම් කර ඇති බවත්, ත්‍රස්ත විමර්ශන ඒකකය හමුවේ සැකකරුවන් 9 දෙනාගේ ප්‍රකාශ ලබා ගත් බවත් ප්‍රකාශ කළේය. දැනට රක්ෂිතබන්ධනාගාරගත කර සිටින දසවන සැකකරු වන කරුපයියා රාජෙන්ද්‍රන් නොහොත් අබ්දුල්ලා නැමැත්තා ත්‍රස්තවාදි වැළැක්වීමේ පනත යටතේ ඉදිරිපත් කර ඇති බව පවසන ත්‍රස්ත ඒකකය එම සැකකරුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සදහා අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියේය.

ඉකුත් 23වන දින අධිකරණය නිකුත් කළ නොතිසිවලට අනුව සැකකරුවන් නවදෙනා ඉකුත් (27) අධිකරණය හමුවේ පෙනී සිටියහ. ත්‍රස්තවාදි වැළැක්වීමේ පනතේ 7 (2) වගන්තිය ය‍ටතේ ක්‍රියා කරන බවට මිට පෙර අධිකරණයට කරුණු දක්වා ඇත්තේ දස වන සැකකරුට පමණක් බවටත් ත්‍රස්තවාදින් සමඟ සබඳතා පවත්වා අන්තවාදි මත සිවිල් ජනතාව ප්‍රචාරය කරමින් ත්‍රස්තවාදින්ට ආධාර අනුබල ලබා දිය හැකි බව පවසමින් මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත් කර ඇති බවට පොලීසිය කරුණු දැක්වීය.

මෙහිදි සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් පවසා සිටියේ විමර්ශන සඳහා තමන් සහායවීමට සුදානම් බව පවසමින් ඔහුට ඇප නියම කරන ලෙසට ඉල්ලීමක් කළේය.

ඒ අනුව සෙයියදු අලි මොහොමඩ් , මොහොමදු අරියර් මොහොමදු , මොහොමඩ් අක්‍රම් සජි, සාලිම් පකිර් , මොහෙමඩ් නිශා මොමොහඩ් කුරේ, මොහෙමඩ් කුරේ හා ගොවින්ද සාමි යනඅයට ලබන 25 අධිකරණය හමුවේ පෙනි සිටින ලෙසට නියම කරමින් නඩුව එදිනට කල් තැබිණි.

දසවන සැකකරු වන අබ්දුල්ලා නැමැත්තා මේ මස 24 වන දින දක්වා රක්ෂිතබන්ධනාගාරගත කිරීමට නියම කළේය.

පාස්කු ඉරුදින මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ බෝමබකරුවකුට අයත් වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ සැක පිට අත්අඩංගුවට ගත් සැකකරුවන් 9දෙනාට එරෙහිව ත්‍රස්ත පනතින් හෝ ඇප ‍නොදීමට තරම් චෝදනාවක් පොලීසිය අධිකරණයට ඉදිරිපත් නොකර ඇති බව පවසමින් ඔහුන් ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉකුත් 6 වන දින නියම කෙරිණි.



උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »