ඉන්දියාව ශ්‍රී ලංකාව ගැන තබා ඇති විශ්වාසය අඛණ්ඩයි - ඉන්දීය අගමැති

Jun 10, 2019 09.47am
feature-top
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පිළිගැනීමේ නිල උත්සවය ඊයේ (09) දහවල් ජනාධිපති කාර්යාලයේ දී වර්ෂාව මධ්‍යයේ වුවද අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. අභිමානවත් පෙරහරකින් පිළිගැනීමේ උත්සව භූමිය වෙත සපැමිණි ඉන්දීය අග්‍රාමාත්‍යවරයාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් උණුසුම් ලෙස පිළිගත් අයුරු ඡායාරූපයේ දැක්වේ. ඡායාරූපය - ජනාධිපති මාධ්‍ය ඒකකය


ශ්‍රී ලංකාවට පැමිණ ලොවට දුන් පණිවුඩය අගයනවා - ශ්‍රී ලංකා ජනපති

ඉන්දියාව ශ්‍රී ලංකාව කෙරෙහි තබා ඇති විශ්වාසය ඉදිරියට ද එලෙසම පවතිනු ඇතැයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවේ කියා සිටියේය.

ත්‍රස්ත ප්‍රහාරයකට ලක්ව රට තුළ නොසන්සුකාරී තත්ත්වයක් මතුව ඇති අවස්ථාවක තම රටට පැමිණ ලෝකයට ලබාදුන් පණිවිඩය පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙතද සිය ස්තූතිය පිරිනැමීය. එමෙන්ම සියලු පාර්ශ්වයන්ගේ සහය ඇතිව සියලු ජන කොටස් වෙනුවෙන් යුතුකම් ඉටු කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රට තුළ ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව ද ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සිය සතුට පළ කළේය.  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ විශේෂ ආරාධනය පරිදි දිවයිනට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර නිල හමුව ඊයේ (09) දහවල් ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

ජනාධිපති කාර්යාලය වෙත පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

ආචාර වෙඩිමුර සහිත හමුදා උත්තමාචාර පිළිගන්වමින් මහත් හරසරින් මෙම පිළිගැනීම සිදු විය.

දෙවන වරටත් ඉන්දීය අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දුන් නරේන්ද්‍ර මෝදි මහතා ඉන් අනතුරුව පළමු රාජ්‍ය තාන්ත්‍රික හමුවට එක් වූයේ ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ වන අතර එම හමුවේ දී ජනාධිපතිවරයා විසින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත මෙම නිල ආරාධනය පිළිගන්වනු ලැබීය.

එමෙන්ම පාස්කු ඉරිදා එල්ල වූ බෝම්බ ප්‍රහාර මාලාවෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ සංචාරය කරන පළමු විදේශීය රාජ්‍ය නායකයා වන්නේ ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා යි.

ජනාධිපති කාර්යාලයේ පැවති අභිමානවත් පිළිගැනීමේ උත්සවයෙන් අනතුරුව ජනාධිපති මන්දිරය වෙත පැමිණි නායක දෙපළ එහි දී සාකච්ඡාවලට එක් වූහ.

උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »