ජන ජීවිතය අස්ථාවර කරන්න දේශපාලන කුමන්ත්‍රණයක්

Jun 05, 2019 09.18am
feature-top
සියලු ජාතීන් අතර සංහිඳියාව තීව්‍ර කිරීමට ආණ්ඩුව උත්සාහ දරද්දී සාමාන්‍ය ජන ජීවිතය කඩාකප්පල් කිරීමට උත්සාහ දරමින් රට අස්ථාවර කිරීමේ දේශපාලන හස්තයක් සංවිධානාත්මකව ක්‍රියාත්මක වෙන බව වැවිලි කර්මාන්ත ඇමැති නීතිඥ නවීන් දිසානායක මහතා පැවසීය.

කළුකොඩි ඔසවා වෙළෙඳ සල් වසා දමමින් ජන ජීවිතය අවුල් කිරීමේ මෙම සංවිධානාත්මක වැඩපිළිවෙළ හඳුනාගෙන ක්‍රියාත්මක විය යුතු බව පැවසූ ඇමැතිවරයා ඕනෑම තර්ජනයකට මූණ දීමේ ශක්තිය ආණ්ඩුව සතු බව අවධාරණය කෙළේය. සංවිධානාත්මකව ක්‍රියාත්මක වෙන කඩාකප්පල්කාරීන්ගේ අරමුණ වී තිබෙන්නේ ජනාධිපතිවරණය දක්වාම රට අස්ථාවර කිරීමේ කටයුතු සිදු කිරීම බවත් ඇමැතිවරයා ප්‍රකාශ කෙළේය.

ආණ්ඩුව ඇතිකරගත් සංහිඳියාව නැති කිරීමට වෙර දරන්නන් පිළිබඳව මිනුවන්ගොඩ, කුරුණෑගල ඇති වුණ සිද්ධි වලින් පසක් වුණ බව සඳහන් කළ ඇමැතිවරයා එම අවස්ථාවේ ආණ්ඩුව ගත් ක්‍රියාමාර්ග ප්‍රසංසනීය බව කියා සිටියේය. ඇමැති නීතිඥ නවීන් දිසානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (4) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවේදීය. අගමැති කාර්යාලයේ සංවර්ධන සන්නිවේදන ඒකකයේ ප්‍රධානී නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.



උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »