පාස්කු ප්‍රහාරය නොවැළැක්වීම ගැන පෙත්සම් පූර්ණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ සලකා බලන්න

Jun 01, 2019 09.07am
feature-top
පාස්කු ඉරු දින බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට නොහැකිවීම මඟින් පොලිස්පති පූජිත ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ඇතුළු පිරිසක් විසින් මහජනතාවගේ මූලික අයිතීන් උල්ලංඝනය කර ඇති බව පවසමින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සියල්ල පස්දෙනකු හෝ ඊට වැඩි සාමාජිකයන් පිරිසකගෙන් යුත් පූර්ණ විනිසුරු මඬුල්ලක් හමුවෙහි සලකා බලන ලෙස නීතිපතිවරයා ‍ඊයේ (31) ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ත්‍රස්ත බෝම්බ පිපිරීමෙන් සිය දරුවන් දෙදෙනා අහිමි වූ පියකු සහ ව්‍යාපාරිකයකු ඇතුළු පිරිසක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් කිහිපයක් කැඳ වූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ෆර්සානා ජමීල් මහත්මිය මේ ඉල්ලීම කළාය. ඒ සඳහා එම ඉල්ලීම ඇතුළත් මෝසමක් අධිකරණයට ඉදිරිපත් කළ බව ද ඇය සඳහන් කළාය.

ඒ අනුව එම ඉල්ලීම සළකා බැලීම සඳහා අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා වෙත යොමු කිරීමට තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම පෙත්සම් ජූනි මස 06 දින සලකා බැලීමට තීරණය‍ කෙළේය.

සිසිර ද ආබෲ, ගාමිණී අමරසේකර, මුර්දු ප්‍රනාන්දු යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවෙහි මේ පෙත්සම් කැඳවන ලදී.

දනාටා ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස් හි කළමනාකරණ අධ්‍යක්ෂ සහ ව්‍යාපාරිකයකු වන සනත් එස්. විදානගේ, මේ ප්‍රහාරයෙන් දරුවන් දෙදෙනා අහිමි වූ සිරිමාන්න නමැත්තකු, ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු පිරිසක් විසින් මේ පෙත්සම් ගොනු කර තිබුණි.

පාස්කු ඉරු දින කිතුනු දේවස්ථාන සහ සංචාරක හෝටල් කිහිපයක සිදු වූ බෝම්බ ප්‍රහාරය හේතුවෙන් දේශීය විදේශීය පුද්ගලයන් 359 දෙනකු මරණයට පත් වූ බව පෙත්සම්කරුවෝ පවසති.

එම බෝම්බ ප්‍රහාරයන් සිදුවන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට වගඋත්තරකරුවන් කටයුතු නොකළ බවට පෙත්සම්කරුවෝ පෙන්වා දෙති.

එමඟින් ඔවුන් ජනතාවගේ මූලික අයිතීන් උල්ලංඝනය කර ඇති අතර, ඔවුන්ට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ 294 වගන්තිය යටතේ නීතිමය පියවර ගන්නා ලෙස පෙත්සම්කරුවෝ ඉල්ලා සිටිති.



උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »