තර්ජන ඇති බව මවා පාසල් වසන කුමන්ත්‍රණයක්

May 31, 2019 09.42am
feature-top
රටේ ජාතිවාදය, ආගම්වාදය, වර්ගවාදය ඇති කරමින් පටු අරමුණු ඉටුකර ගැනීමේ අරමුණින් කටයුතු කරන පිරිස පාසල්වලට තර්ජන ඇති බව පෙන්වා පාසල් පද්ධතිය වසා දැමීමට කටයුතු කරගෙන යන බවට සියලු ආරක්ෂක බුද්ධි අංශ මගින් මේවන විට හෙළිදරව් කර ගෙන තිබේ.

රට පුරා කලබල ඇති කර සියලු කටයුතු අඩපණ කිරීමට අදාළ කඩාකප්පල් පිරිස ගෙන යන උත්සාහයේ එක් කොටසක් වශයෙන් මෙය පෙන්වා දිය හැක.

ඒ අනුව ඉතාමත් සාමකාමීව සාර්ථක වැඩපිළිවෙළක් මැද සතියක් පුරා පවත්වාගෙන ආ පාසල් පද්ධතියේ නැවත් කලබලයක් ඇති කර කට කතා පතුරුවා පාසල් යළි වසා දැමීමට මේ හරහා උත්සාහ කරන බවද හෙළි දරව් කර ගෙන ඇති බව පොලිස් මුලස්ථානය පෙන්වා දෙයි.

මෙහි එක් පියවරක් වශයෙන් පසුගිය සතියේ මතුගම ප්‍රදේශයේ පාසලක කල්ඉකුත් වූ අත් බෝම්බ කිහිපයක් තබා එම පළාතේ පාසල් වසා දැමීමට උත්සාහ කර තිබුණි.

එම උත්සාහය අඩපණ වූ පසු එම කුමන්ත්‍රණකාරීන් ම වෙනත්

ප්‍රදේශවල පාසල්වල කලබල ඇති කර පාසල් වසා දැමීම සඳහා ඊයේ දින මීගමුව සහ කොළඹ ප්‍රදේශවල නැවතත් කටකතා පතුරුවමින් මවුපියන් කැළඹීමට පටන් ගෙන තිබුණි.

මෙම කටකතාවලට බිය වූ වැඩිහිටියන් ඊයේ දින පසල් වෙත ගොස් දරුවන් පාසල්වලින් ඉවත්කර ගැනීමට උත්සාහ කළ අතර, ආරක්ෂක අංශ මගින් එම උත්සාහය නවත්වා මවුපියන්ට කරුණු පැහැදිලි කර දී තිබුණි.

මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ රුවන් ගුණසේකර මහතා කියා සිටියේ සියලු ආරක්ෂක අංශ පාසල්වල ආරක්ෂාව තහවුරු කර තිබිය දී ඒ පිළිබඳ විශ්වාසය නොතබා මවුපියන් විවිධ කටකතාවලට බියවී තම දරුවන් පාසල්වලින් ගෙන යාමට උත්සාහ නොකර නිදහසේ දරුවන්ට ඉගෙනීමේ කටයුතු කරගෙන යාමට ඉඩ හරින ලෙස දන්වා සිටියි.

මෙහිදෙී කරුණු දැක්වූ යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා පෙන්වා දෙන්නේ පසුගිය 21දා සිට ආරම්භ වූ ආරක්ෂක මෙහෙයුම් තවමත් කිසිදු ආකාරයකින් නවත්වා නැති බවත්, එහෙත් විවිධ උපක්‍රම සහ වෙනත් ක්‍රමවේදයන් ඔස්සේ එම ආරක්ෂක මෙහෙයුම් නොනවත්වාම සිදු කරන බව කීය. බුද්ධි අංශ මෙන්ම සියලු ආරකෂක විධිවිධාන පාසල් අසල යොදා ඇත. කිසිදු ආකාරයකින් පාසල් අසල කිසිදු ත්‍රස්තවාදී ක්‍රියාවක් හෝ වෙනත් ආකාරයක කඩාකප්පල්කාරි ක්‍රියාවක් සිදු කිරීමට ඉඩ නොලැබෙන පරිදි පාසල් අසල මෙන්ම රට පුරා ආරක්ෂාව තහවුරු කර ඇත. තවද ආරක්ෂක අංශ විටින් විට විවිධ ස්ථාන ප්‍රදේශ තෝරා ගනිමින් මෙහෙයුම් සිදු කරයි. එවැනි මෙහෙයුම් සිදු කරන්නේ එම ස්ථානයේ හෝ ප්‍රදේශයේ ත්‍රස්තවාදී ක්‍රියාවක් ඇති නිසාම නොව සාමාන්‍යෙයන් සෝදිසි කිරීම් සිදු කරන නිසා බැවින්, යම් ප්‍ර දේශයක මෙහෙයුමක් කරනු දුටු විට එම ස්ථානය සම්බන්ධයෙන් සැක නොසිතන ලෙසත්, මෙම කටකතාවලට නොරැවටී පාසල් සහ වෙනත් දෛනික කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යන ලෙසත් බ්‍රිගේඩියර් සුම්ත් අතපත්තු මහතා මහජනතාවට දැනුම් දෙයි.

මේ අතර මෙම කටකතා පතුරුවමින් ජනතාව අතර කලබල ඇති කර තම යටි අරමුණු ඉෂ්ඨකර ගැනීමට උත්සාහ කරන පිරිස සම්බන්ධයෙන් පොලීසියට බුද්ධි අංශ හරහා තොරතුරු ලැබෙමින් පවතින අතර, මෙම පුද්ගලයන් සම්බන්ධයෙන් බුද්ධි අංශ සහ ඔත්තු කරුවන්ගේ ද දැඩි අවධානය යොමු කර එම පිරිසගේ දුරකතන පනිවිඩ හුවමාරු සම්බන්ධව ද අවධානය යොමු කර තිබේ.

ඒ අතරම කඩාකප්පල්කාරී සැලසුම් පිටුපස සිටින ප්‍රබලයන් සම්බන්ධයෙන් ද ආරක්ෂක අංශවල අවධානය යොමු කර ඇති අතර, සියලු තොරතුරු අනාවරණය කර ගැනීමත් සමඟ ඔවුන් නීතිය ඉදිරියට පමුණුවා දැඩි දඬුවම් ලබා දෙන බවද පැවසීය.



උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »