පාර්ලිමේන්තු තේරීම් කාරක සභා රැස්වීම් වාර්තා කරන්න මාධ්‍යට ඉඩ දෙනවා

May 27, 2019 09.04am
feature-top
පාස්කු ඉරිදා සිදුවීම් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සියලු රැස්වීම් ආවරණය කිරීමේ අවස්ථාව ජනමාධ්‍ය වෙත ලබාදීමට කටයුතු කර ඇති බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අගමැතිවරයා මේ බව කියා සිටියේ පෙරේදා(25) සිවිල් සමාජ සහ වෘත්තීය සමිති එකතුවේ නියෝජිතයන් අරලියගහ මන්දිරයේදී හමු වූ අවස්ථාවේදීය.

එහිදි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසිය.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ හරස් ප්‍රශ්න ඇසීම, එවාට දෙන පිළිතුරු සම්පූර්ණයෙන්ම ආවරණය කිරීමට මාධ්‍යවේදීන්ට අවස්ථාව හිමි වෙනවා. ඒ අනුව පක්ෂග්‍රාහිව කටයුතු කිරීමට අවස්ථාවක් නැහැ.

පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් තේරීම් කාරක සභාව නියෝජනය නොකිරීම ගැන කනගාටු වෙනවා. එයට එකතු වන ලෙස ආරාධනා කරනවා.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව රටේ ආරක්ෂක තත්ත්වය පිළිබඳව සහ එම ප්‍රහාරය වලක්වා ගැනීමට අපොහොසත්වීම පිළිබඳව දේශපාලනික සහ ආයතනික වගකීම පිළිබඳව සිවිල් සමාජ සහ වෘත්තීය සමිති නියෝජිතයෝ අගමැතිවරයාගෙන් කරුණු විමසූහ.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව රටේ සාමාන්‍ය ජනජීවිතය යථා තත්ත්වයට පත්කර ගැනීමට සිවිල් සංවිධාන සහ වෘත්තිය සමිති එකමුතුව ලෙස දැක්වූ සහයෝගයට මම ස්තූති වන්ත වෙනවා.අප රටේ අනාගතය පිළිබඳව ඔබ ලබාදුන් අදහස් සහ යෝජනා ඉතා වැදගත් වන අතර තවදුරටත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමෙන් පසුව තීරණ ගැනීම සුදුසු වෙනවා.අනෙකුත් සංවිධානත් ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට කැඳවීමට මම බලාපොරොත්තු වෙනවා.අපි කොහොමද ශ්‍රී ලාංකික අනන්‍යතාව ඇතිකරන්නේ. අපි කොහොමද නව දේශපාලනය ක්‍රමයක් ඇති කරන්නේ. ඒ වගේම අපි කොහොමද ත්‍රස්තවාදය නැවත හිස එසවීම නවත්වන්නේ යන කාරණා සියලු දෙනාටම වැදගත් වෙනවා.

එම නිසා එම කාරණා පිළිබඳව පක්ෂ භේදයෙන් තොරව පුළුල්ව සාකච්ඡා කිරීමෙන් පසුව තීරණ වලට එලබීමට මම බලාපොරොත්තු වෙනවා.පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව රට සාමාන්‍ය තත්ත්වයට අපි රැගෙන ආවත් අවාසනාවන්ත ලෙස පසුගිය සදුදා බිංගිරිය, හලාවත, කුලියාපිටිය සහ මිනුවන්ගොඩ යන ප්‍රදේශවල සංවිධානාත්මක ප්‍රචණ්ඩ ක්‍රියා ඇති වුණා.එම ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ වූවන් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙන අතර මේ වනවිට රටේ සාමාන්‍ය තත්ත්වයක් ඇති වී තිබෙනවා. රාමසාන් උපවාස සමය, ඉරිදා ක්‍රිස්තියානි දේව මෙහෙය වගේම අපේ පන්සල් වල වෙසක් උත්සවයත් සාර්ථකව පවත්වන්න හැකියාව ලැබුණා.කඩසාප්පු වල ගනුදෙනු කිරීමට මෙන්ම පාසල් කටයුතු ද දැන් සාමාන්‍ය පරිදි සිදු වෙනවා.

අපේ ආරක්ෂක අංශ ප්‍රහාරයට සම්බන්ධ ජීවතුන් අතර සිටි සියලු දෙනාම මාසයක් ඇතුළත අත්අඩංගුවට ගැනීමට සමත් වෙලා තිබෙනවා. සැකකරුවන් ගෙන් ආරක්ෂක අංශ ප්‍රශ්න කිරීම සිදුවන අතර ඒ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට නීතිපතිවරයා ක්‍රියාකරමින් යනවා.ශ්‍රි ලංකාවේ ආරක්ෂක හමුදාව තරම් කාර්යශුර සහ ඉක්මනට ක්‍රියා කරපු සංවිධාන ලෝකයටම තිබෙන්නේ ඉතා ස්වල්ප ප්‍රමානයක් බව මට විදේශ බුද්ධි නිලධාරීයෙක් මෑතකදී පැවසූවා.ප්‍රධාන සැකකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් පසුව සාමාන්‍යයෙන් මෙවැනි සැකකරුවන් සොයා ගැනීමට මාස තුනක් හෝ හයක් වැනි ප්‍රමානයක් ගතවන බව පැවසෙනවා.දැනට තිබෙන ජාතික ආරක්ෂාව හා සම්බන්ධ අපේ සංවිධාන තවදුරටත් ශක්තිමත් කළ යුතුව තිබෙන අතර ඒ සඳහා අවශ්‍ය සංශෝධන දැනටමත් ඉදිරිපත් කර තිබෙනවා

ඉන්දියාව නිසි තොරතුරු ලබාදී තිබිය දී ඒ පිළිබඳ ක්‍රියාත්මක නොවීම හේතුවෙන් මේ අවස්ථාවේදී ජනතාව ආණ්ඩුවට දෝෂාරෝපනය කරනවා.ජනතා විශ්වාසය පළුදුවීම ආණ්ඩු පක්ෂයට පමණක් සීමාවී නොමැති අතර විපක්ෂය සම්බන්ධයෙන් ද ජනතා විශ්වාසය පළුදුවී තිබෙනවා. විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු එදා ප්‍රකාශ කෙළේ අපි 225 ම ඉන්නේ මෙතන දී එකම බෝට්ටුවේ ලෙසයි. එම පළුදුවූ විශ්වාසය යළි ලබා ගන්නා ආකාරය පිළිබඳ අපි සියලු දෙනා විවෘත්තව අලුතෙන් සාකච්ඡා කළයුතුයි.ඒ එක්කම විශේෂ පියවර කිහිපයක් අපි දැනටමත් අරගෙන තිබෙනවා.

විශේෂයෙන්ම මඩ්‍රසා පාසල් නියාමනය කිරීමට කෙටුම්පතක් ඉදිරිපත් කර තිබෙනවා. නීතිපතිවරයා ඒ පිළිබඳව ක්‍රියා කරගෙන යනවා. එමෙන්ම ශාරියා විශ්වවිද්‍යාල ලංකාව තුළ ඇති කිරීම කිසිම අවස්ථාවක් නැහැ. බුර්කාව පිළිබඳ පැන නැගී තිබූ ගැටලුවත් මේවනවිට නිරාවරණය කර ගෙන තිබෙනවා. ඒ වගේම මගේ නියෝගයක් මත, ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය සභා නගර සභා නාම පුවරු වලට සිංහල භාෂාව, දමිළ භාෂාව සහ ඉංග්‍රීසි භාෂාව පමණක් යොදා ගන්නා ලෙස ස්වදේශ කටයුතු අමාත්‍යාංශය චක්‍රලේඛයක් මඟින් දන්වා තිබෙනවා.

පිටින් පැමිණි ස්වල්ප දෙනෙක්ගේ අන්තවාදී අදහස් වලට වඩා මධ්‍යස්ථ අයගේ අදහස් ඉදිරියට පැමිණ තිබෙනවා. සමහර මැදපෙරදිග අරාබි රටවල්වල මුස්ලිම් ජනතාවගේ සහයෝගය අයි .එස් .අයි. එස් .සංවිධානයට හිමි වෙනවා.ලංකාවේ අන්තවාදී සංවිධානවලට ජනතාවගේ සහයෝගය ලබෙන්නේ නැහැ.අපි අන්තවාදී වැඩ කිරීමෙන් ත්‍රස්තවාදී සංවිධානය වලට සහයෝගය ලැබීමේ අවධානම වගේම ජාතිවාදය ආගම්වාදය ඇති වුවහොත් අන්තවාදයෙන් අවසන්වීමේ අවධානමක් තිබෙනවා. ඒ සම්බන්ධයෙන් 1983 අමිහිරි මතකයක් අපට තිබෙනවා.මේ සිද්ධි සම්බන්ධයෙන් සියලු අංශවලින් විභාග කළ යුතුයි. ඒ වගේම වැරදිකරුවන්ට විරුද්ධව ක්‍රියාත්මක විය යුතුයි. ඒ ගැන විවාදයක් නැහැ. ඒ වගේම නිවැරැදි පුද්ගලයන්ට ඉදිරියට යැමේ අවස්තාව සලසා දියයුතුයි.

ඒ වගේම මහා සංඝරත්නයෙත් ක්‍රිස්තියානි පූජක පක්ෂයෙත් නායකත්වයෙන් නැවත අන්තවාදයක් ඇතිවීම වැලැක්වීමට විශාල සහයෝගයක් ලබා දී තිබෙනවා. ඒ වගේම ආගම් ලෙස ගත්තොත් බෞද්ධ, ක්‍රිස්තියානි, ඉස්ලාම් වගේම ජාතීන් ලෙස ගත්තොත් සිංහල, දෙමළ, මුස්ලිම් ,බර්ගර් සැමට ශ්‍රී ලාංකික අනන්‍යතාව කුමක්ද කියලා අපි පුළුල්ව සාකච්ඡා කරගෙන යනවා. මේ සම්බන්ධයෙන් ජනතාවගේ විශ්වාසය ඇති කිරීම අපගේ වගකීමක් බැවින් මෙම සියලු සිද්ධි ගැන වාර්තා කිරීමට පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවක් පත්කිරීමට තීන්දු කර තිබෙනවා. එහිදී මම, පළමු සති දෙක ඇතුළත දී තේරීම්කාරක සභාවේ අතුරු වාර්ථාවක් ලබාදීමට කටයුතු කරන මෙන් කථානායක වරයාගෙන් ඉල්ලීමක් කළා.

රිෂාඩ් බදුර්දීන් අැමැතිවරයා පිළිබඳ විවිධ චෝදනා සහ යෝජනා වාර්තා මාධ්‍ය වලින් පැමිණ තිබෙනවා. රිෂාඩ් බදුර්දීන් ඇමැතිවරයා මේ චෝදනා ප්‍රතික්ෂේප කරලා තිබෙනවා. එම නිසා මේ සියලු චෝදනා විභාග කිරීම ජනතාවගේ පැත්තෙන් ඉතා හොද කාර්යයක්.ඒ සඳහා කණ්ඩායමක් පත්කර තිබෙන අතර සති දෙකක් තුළදී ලැබෙන අතුරු වාර්තාව අනුව කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා. මම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් මෙම තේරීම් කාරක සභාවට සහභාගී නොවීම පිළිබඳව මම කනගාටු වෙනවා.ඒ වගේම එම සහභාගී නොවීමේ තීරණය නැවත සලකා බලන ලෙස මම ඉල්ලා සිටිනවා.

මෙම ක්‍රියාවලිය පිළිබඳ ජනතාවගේ විශ්වාසය ඇති කිරීමට සඳහා කතානායක තුමාගේ අවසරය ලබාගෙන මෙම කාර්යය මාධ්‍යට සම්පූර්ණයෙන් ආවරණය කිරීමට අවස්ථාව ලබාදී තිබෙනවා. එනම් හරස් ප්‍රශ්න ඇසීම,ලබා දෙන පිළිතුරු,සාකච්ඡා සියල්ල මාධ්‍යට ආවරණය කිරීමේ හැකියාව තිබෙනවා. මාධ්‍ය ඒ පිළිබඳව වාර්තා කිරීමෙන් රටේ ජන්තාව එම සියලු කාරණා සම්බන්ධයෙන් දැනුවත් වෙනවා.එම නිසා කිසිම කෙනකුට රහස් වාර්තා මෙන්ම පක්ෂග්‍රාහී වාර්තා ඉදිරිපත් කිරීමට නොහැකි වෙනවා.ලබාදෙන සියලු සාක්කි එහි සඳහන් කළයුතු වෙනවා. මෙම ක්‍රමය ඉතා යෝග්‍ය වන අතර අමෙරිකාව මෙන්ම බ්‍රිතාන්‍යයේ ද විශේෂ කාරණා වලදී මාධ්‍ය වලට එම අවකාශය හිමි වෙනවා.

මෙහිදී මෙම වැඩකටයුත්ත විවෘත්ත භාවයෙන් සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා.එවිට ජනතාවට තමන්ගේ තීරණය ගැනීමට අවස්ථාව ලැබෙනවා.එමෙන්ම තවත් පියවර කිහිපයක් ගැනීමට බලාපොරොත්තු වෙනවා.එමෙන්ම රටේ නීතිය හා සාමය ඇති කිරීමට අපි කැපවී සිටින අතර අයි. එස් .අයි. එස්. ත්‍රස්තවාදයට නැවත හිස එසවීමට නොහැකි ආකාරයට නව ක්‍රමයක් ඇති කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.එම නිසා ඔබ සියලු දෙනා මෙම ස්ථානයට පැමිණ ලබාදුන් සහයෝගය ගැන මම ස්තූතිවන්ත වෙන්වා.

මෙම සාකච්ඡාවට දඹර අමිල හිමි, ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න, ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු, මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර, මහාචාර්ය එච්.ඩබ්ලිව. සිරිල්, ආචාර්ය ජෙහාන් පෙරේරා, සමන් රත්නප්‍රිය, සුනිල් ද සිල්වා, පිලිප් දිසානායක, රාජා උස්වැටකෙයියාව, නීතිඥ නාමල් රාජපක්ෂ ඇතුළු පිර්සක් සහභාගි වූහ.මේ සාකච්ඡාවට අගමැති ලේකම් සමන් ඒකනායක මහතාද සහභාගි විය.



උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »