පරිසර සංරක්ෂණ වැඩ ශක්තිමත් කරන්න

May 25, 2019 08.53am
feature-top
ජූනි 05 වැනිදාට යෙදෙන ජගත් පරිසර දිනයට සමගාමීව පරිසර සතියක් ප්‍රකාශයට පත් කරමින් පරිසරය වෙනුවෙන් මේ වන විට ක්‍රියාත්මක කර ඇති සියලු වැඩසටහන් වඩා ශක්තිමත් සහ කාර්යක්ෂම කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා අදාළ අංශ වෙත උපදෙස් දෙයි. ජනාධිපතිවරයා මේ උපදෙස් ලබා දුන්නේ ඊයේ (24) පෙරවරුවේ මධ්‍යම පරිසර අධිකාරියේ ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණු මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමිනි.

අධිකාරිය විසින් මෙතෙක් ක්‍රියාත්මක කර තිබෙන වැඩසටහන්වල ප්‍රගතිය සහ ඉදිරි සැලසුම් මෙහි දී ජනාධිපතිවරයාගේ අධීක්ෂණයට ලක් විය.

පරිසර නියමු ව්‍යාපෘති ප්‍රමාදයකින් තොරව අවසන් කිරීම, පාසල් මට්ටමින් පරිසර නියමුවන්ගේ සංඛ්‍යාව ඉහළ නංවා ගැනීම ආදී කරුණු පිළිබඳව ද සාකච්ඡා වූ අතර, පාසල් දරුවන් ඇතුළු පාර්ශ්වකරුවන් සම්බන්ධ කර ගනිමින් පරිසර සංරක්ෂණය, ආරක්ෂණය හා කළමනාකරණය කෙරෙහි සහභාගීත්වය වැඩි කර ගැනීමට පියවර ගැනීමේ වැදගත්කම ජනාධිපතිවරයා එහි දී පෙන්වා දුන්නේය. පොලිතින් තහනම, වාහනවල අධික ශබ්දය සහිත නලා නාද කිරීම තහනම් කිරීම, පරිසර පොලිසිය ශක්තිමත් කිරීම ආදී පරිසර සංරක්ෂණය වෙනුවෙන් රජය පසුගිය දිනවල ගත් වැදගත් තීන්දු සහ ඊට අදාළව ක්‍රියාත්මක කර ඇති වැඩසටහන්වල ප්‍රගතිය ද මෙහි දී සමාලෝචනයට ලක් කෙරිණි. එමෙන්ම මහනුවර නගරයේ ප්‍රධාන පාරිසරික ගැටලුවක් බවට පත්ව තිබූ කටුගස්තොට, ගොහාගොඩ කැළි කසළ කන්ද සහ ඊට විසඳුම් ලබාදීමට ක්‍රියාත්මක කර ඇති වැඩසටහන්වල ප්‍රගතිය ද ජනාධිපතිවරයා විමසා බැලීය.

මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ඒ. ජේ. එම්. මුසම්මිල්, අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ යන මහත්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මීට එක්ව සිටියහ.



උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »