අනුර සේනානායකට සිතාසි

May 25, 2019 08.52am
feature-top
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයට සම්බන්ධ වරදකරුවන් නීත්‍යානුකූල දඬුවම්වලින් ආවරණය කිරීමට අසත්‍ය තොරතුරු සැපයූ බවට නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුවට ලබන අගෝස්තු මස 06 වැනිදා කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා බස්නාහිර පළාත් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට සිතාසි නිකුත් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා නියෝග කළේය.

නීතිපතිවරයා විසින් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 198 වැනි වගන්තිය යටතේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ මේ නඩුව පවරා ඇත. අනුර සේනානායක මහතාට එරෙහිව නඟා ඇති අධි චෝදනාව ඔප්පු කිරීමට සාක්කිකරුවන් 20ක් හා ලේඛන 08ක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ද නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයට දන්වා ඇත.

2013 / මැයි / 17 හෝ ආසන්න දිනක දී ඝාතනයට ලක් වූ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය සිදු කිරීමට සම්බන්ධ වරදකරුවන් ආවරණය කිරීම සඳහා අසත්‍ය තොරතුරු සැපයීම හා මරණ දඬුවම හිමි විය යුතු වරදක් සිදු කර ඇති බව දැනගෙනම අසත්‍ය ‍කරුණු මඟින් වරදකරුවන් ආවරණය කළ බවට දණ්ඩ නීති සංග්‍රහයේ 198 වගන්තිය යටතේ විත්තිකාර අනුර සේනානායක මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් අධි චෝදනා නඟා ඇත.



උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »