සෙසු ආගම් කොන්කර බෞද්ධ රාජ්‍යය ශක්තිමත් කළ නොහැකියි

May 20, 2019 11.30am
feature-top
ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළ නිර්මල බුදුදහම එලෙසම පිළිපදිමින් මෙරට සියලු ජාතීන් හා ආගම් ආරක්ෂා කරගෙන මේ සිංහල බෞද්ධ මාතෘ භූමිය තුළ සෑම පුරවැස‍ියෙක්ම සමගිව එකට එක්ව ජීවත්විය යුතු බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

සෙසු ජාතීන් හා ආගම් කොන් කරමින්, පැත්තකට විසි කරමින්, ආගමික සිද්ධස්ථාන විනාශ කර සිංහල බෞද්ධ රාජ්‍යය ශක්තිමත් කළ නොහැකි බවද අමාත්‍යවරයා පැවැසීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුදුසසුනට මුල්තැන හිමිවූවත්, එයට අවශ්‍ය ප්‍රායෝගික ශක්තිය හා රැකවරණය ජනතාව ලබා නොදෙන්නේ නම් බුදු සසුන ශක්තිමත් නොවන බවත්, මේ සිංහල බෞද්ධ මාතෘ භූමිය තුළ ජාති ආගම් කේන්ද්‍ර කරගනිමින් හිංසාකාරී පීඩාකාරී ක්‍රියා සිදුවන සෑම මොහොතකදීම සම්බුද්ධ ශාසනය පිරිහීමට ලක්වන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

බුදුසසුන ආරක්ෂා කර ගනිමින් ලොව පුරා ව්‍යාප්ත කිරීමට නම් අවිහිංසාවාදීව, ශිෂ්ටසම්පන්නව, යුක්තිගරුකව, සහෝදරත්වයෙන් හා සංහිඳියාවෙන් කටයුතු කළ යුතු බව පැවසූ අමාත්‍යවරයා, එමෙන්ම මෙරට සියලු ජාතීන් හා ආගම් ආරක්ෂා කර ගනිමින් මාතෘ භූමිය රැකගැනීමට අප එක්ව කටයුතු කළ යුතු බවද වැඩිදුරටත් පැවැසීය.

සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ “සිසු දහම් සෙවණ” වැඩසටහන යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලස්මුල්ල, කිරම සුබෝධාරාම විහාරස්ථානයේ දහම් පාසැල් ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට පෙරේදා (18) දින සහභාගි වෙමිනි.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ ප්‍රතිපාදන මත ඉදිවන මෙම දහම් පාසල් ගොඩනැගිල්ල සඳහා වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 40 කි. මාස 3 ක් ඇතුළත මෙය අංගසම්පූර්ණව ඉදිකර සසුනට පූජා කිරීමට නියමිතය.

ගස් යට දහම් අධ්‍යාපනය ලබන දූ දරුවන්ට දහම් අධ්‍යාපනය ලබාදීමට ප්‍රමාණවත් ගොඩනැගිලි පහසුකම් නොමැති එමෙන්ම සම්පත් ඌණතාවලින් හා ආර්ථික දුෂ්කරතාවලින් යුත් බෞද්ධ, හින්දු, කතෝලික හා ඉස්ලාමීය දහම් පාසල් නගාසිටුවීමේ අරමුණින් “සිසු දහම් සෙවණ” වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මක වේ.



උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »