සහරාන්ගේ නැඟණියත් ඇගේ සැමියාත් අත්අඩංගුවට

May 03, 2019 09.58am
feature-top
පාස්කු ඉරිදා එල්ල කළ බෝම්බ ප්‍රහාර මාලාවේ මහමොළකරු ලෙස සැළකෙන ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ නායක සහරාන් හසීම්ගේ නැගනිය සහ ඇගේ සැමියා මඩකලපුව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (2) භාර දී තිබේ.

මොහොමදු හසීම් මාදානියා (25) නැමැති ඇය පාස්කු ප්‍රහාරය ගැන කල්තියා තොරතුරු දැන සිටි බව පොලීසිය සැකකරයි. ඉකුත් 13 වෙනි දා ඇය සිය සැමියා ද සමඟ සහරාන්ව කොළඹ දී මුණ ගැසී ඇති බවත්, එහිදී ඔහු වියදමට යැයි කියා ඇයට රුපියල් විසි ලක්ෂයක මුදලක් ලබා දී ඇති බවත් පොලීසියට තොරතුරු ලැබී ඇත. එම මුදල් කාතන්කුඩියේ කප්පල් ආලම් පාරේ පිහිටි නිවසේ අල්මාරියක සඟවා තිබිය දී පොලීසියට හමු වී තිබේ.

පාස්කු ප්‍රහාරයෙන් පසු ඇය ජාත්‍යන්තර මාධ්‍යට සඳහන් කර තිබුණේ සිය සහෝදරයා ඇතුළු පවුලේ සාමාජිකයන් සමඟ තමන් සම්බන්ධයක් නැති බවය. බොහෝ කාලයක සිට සිය සහෝදරයාව නොදුටු බවද ඇය පවසා තිබුණි.

ඇය සියල්ල දැන සිටි බව හෙළිවන්නේ කාතන්කුඩියේ කෙරෙන මෙහෙයුම්වල දී සහරාන්ව මුණ ගැසීමට කාතන්කුඩියේ සිට ඇයත් සැමියාත් ගමන් කළ වෑන් රථයේ රියදුරා පොලීසියට හමුවීමත් සමඟිනි. ප්‍රශ්න කිරීම් හමුවේ රියදුරා ඒ සම්බන්ධයෙන් තොරතුරු රැසක් හෙළිකර ඇතැයි පොලිස් ආරංචි මාර්ග අනාවරණය කළේය. ඒ අනුව ඇයව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේ දී සහරාන්ව මුණ ගැසුණු බව ඇය පිළිගෙන ඇත. ලක්ෂ විස්සක මුදල් තමන්ට එහිදී සහෝදරයා ලබාදුන් බවද ඇය පොලීසියට පවසා තිබේ.

සහරාන්ගේ පවුලේ මේ වන විට ඉතිරිව සිටියේ මෙම නැගනිය සහ ඇගේ සැමියා පමණි. සෙසු නැගනියත්, ඇගේ සැමියාත් සහෝදරයන් දෙදෙනාත්, මවත් , පියාත් දරුවනුත් කාතන්කුඩියේ සයින්දුමරුදු පිපුරුමෙන් මියගොස් ඇතැයි පොලීසිය සඳහන් කරයි.

උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »