සියලු ත්‍රස්තයන් අල්ලන තුරු ආරක්ෂාව ලිහිල් කරන්න එපා

May 03, 2019 09.51am
feature-top
අයි. එස්. අයි. එස් සංවිධානයට සම්බන්ධ ලංකාවේ සිටින සියලූ දෙනා අල්ලනතුරු දැනට සීරුවෙන් තබා ඇති ආරක්ෂක විධිවිධාන කිසිවක් ලිහිල් නොකරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂක අංශ වෙත ඊයේ (2) දැනුම් දුන්නේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම නියෝගය කළේ මරාගෙන මැරෙන ප්‍රහාරවලින් පැය 12ක් ගතවීමට පෙර ඊට සම්බන්ධ සියලූ කණ්ඩායම් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවට ආරක්ෂක අංශ රජයට දුන් නවතම  වාර්තාව භාර ගැනීමෙන් පසුවය.

වර්ෂ 2015 තෙක් එල්.ටි.ටී.ඊ ත්‍රස්තවාදයට මුහුණ දෙන ආකාරය සම්බන්ධයෙන් ක්‍රියා කළ ශ්‍රී ලංකාවේ බුද්ධි හා ආරක්ෂක අංශ තාක්ෂණයත් සමඟ නවීකරණය වූ ත්‍රස්ත ව්‍යාපාරවලට එරහිව ක්‍රියා කිරීමට පෙළ ගැස්වීමේ ප්‍රතිඵලයක් ලෙස ඉදිරි දින කිහිපය ඇතුළත සියලුම අයි. එස්. අයි. එස් සංවිධානයට සම්බන්ධ සියලුදෙනා අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවද ඉහත වාර්තාවේ දැක්වේ.

එසේම සාම සාධක හමුදා ලෙස මාලී රාජ්‍යයේ කළ සේවයේ අත්දැකිම් ද අයි. එස්. අයි. එස් මෙහෙයුම් සාර්ථක කර ගැනීමට ඉවහල් වූ බවද එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වා තිබේ.

ක්‍රස්ත ප්‍රහාර එල්ල කළ පුද්ගලයන් හඳුනා ගැනීම සඳහා කෙරෙන ඩී.එන්.ඒ පරීක්ෂණ කඩිනම් කිරීමට ස්කොට්ලන්ඩ්යාඩ් හා එෆ්.බී.අයි සංවිධානවල සහාය හිමිවීම පරීක්ෂණ කඩිනමින් අවසන් කිරීමට හැකිවූ බවද ආරක්ෂක අංශ ඉදිරිපත් කළ වාර්තාවේ තවදුරටත් සඳහන් වේ.

ප්‍රහාරය පිළිබඳ රජයට ඉදිරිපත් කළ වාර්තාව ගැන අදහස් දැක්වූ ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා කීවේ එකවර ස්ථාන 6ක දී හා තවත් තැන් 2ක දී දරුණු ප්‍රහාර 8ක් එල්ල වී රටින් පිටව ගිය ජනාධිපතිවරයා මෙරටට නැවත ගොඩබැසීමටත් පෙර ප්‍රහාරයට සම්බන්ධ පළමු කණ්ඩායම අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි.

වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව ජාත්‍යන්තරය සමඟ ඇති කර ගෙන තිබෙන සබඳතාවල ප්‍රතිඵලයක් ලෙස සිද්ධිය වී පැය 24 ක් ගතවීමට පෙර බ්‍රිතාන්‍යයේ ස්කොට්ලන්ඩ්යාඩ් හා අමෙරිකාවේ එෆ්. බී.අයි යන ආරක්ෂක ඒකකවල සහාය පළ වූ බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.



උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »